18/06/2026
සුදු රෙද්ද යට සැඟවුණු නිරුවත: "මනමාල කතා" හෙළි කරන ගැහැනියගේ අභ්‍යන්තර යුද්ධය 🎬🎶
අප ආදරය යැයි සිතා වැළඳගන්නා බොහෝ දේ පිටුපස, සමාජය මවාගත් යථාර්ථයන්ට එහා ගිය අඳුරු ප්‍රෙහේලිකා තිබිය හැකිය. කාංචනා අනුරාධිගේ "මනමාල කතා" රූප රචනය දෙස මතුපිටින් බලන්නෙකුට පෙනෙන්නේ හුදු ආදර කතාවකි. එහෙත්, එහි ඇතුළාන්තයේ දිවෙන්නේ ආගම, සංස්කෘතිය සහ මිනිස් හිතේ පතුලෙහි සැඟවී ඇති ආශාවන් අතර පවතින දරුණුතම මනෝවිද්‍යාත්මක ගැටුමයි.
🥀 රතු මල් පෑගූ තාරුණ්‍යය
වීඩියෝවේ මුල් අවස්ථාව නිරූපණය කරන්නේ සොබාදහමේ නීතියට අනුව පිබිදෙන යොවුන් වියේ කුතුහලයයි. සංවරය නැමැති ලේබලය ඇලවූ සමාජයක, කාංචනා තමන්ගේම ආශාවන්ගේ කැඩපත දෙස බලා සිටින්නීය. ඇය පාගා යන ඒ රතු මල්, හුදෙක් අලංකාරයක් නොව, සාම්ප්‍රදායික පවිත්‍රත්වයේ සංකල්පය බිඳී යාමයි. ඒ, ගැහැනියක් ස්ත්‍රීත්වයේ අභියෝගාත්මක මාවතට පිවිසෙන පළමු වෙඩි මුරයයි.
🎭 'මෝල් ගස' සහ සමාජයේ ද්විත්ව චරිතය
කෙල්ලෙකුගේ වැරදීමකදී ඇයව මුලින්ම විනිශ්චය කරන්නේ ස්ත්‍රී පාර්ශ්වයම වීම මෙරට සමාජයේ ඇති කටුක සත්‍යයකි. මෙහිදී කළු කුමාරයා මෝල් ගසක් දරාගෙන සිදුකරන රංගනය, පිරිමියාගේ දෘෂ්ටිකෝණයෙන් ගැහැනිය දෙස බලන විට ඇතිවන කුහක ලිංගික ආශාවේ සැබෑ නිරුවත පෙන්වා දෙයි. ගැහැනිය යනු හුදෙක් සතුටක් පමණක්ම යැයි සිතන පිරිමි මානසිකත්වයේ බිහිසුණු බව මෙහි මනාව කැපී පෙනේ.
☁️ සුදු රෙද්දෙන් වසන 'නම්බුව'
සමාජයේ බිය සහ පවුලේ නම්බුව රඳා පවතින්නේ 'සුදු රෙද්ද' මත ය. දුවගේ චරිතය කෙලසුණේ යැයි පවසන මොහොතේ, දෙමව්පියන් ඇයව සුදු රෙද්දකින් වසා ලෝකයට පෙන්නීමට දරන උත්සාහය, ලාංකීය පවුල් ව්‍යුහයේ පවතින බරපතලම අසාධාරණයයි. ඒ සුදු රෙද්ද යට අදටත් කී දෙනෙකුගේ සැබෑ ආත්මයන් ගෙල සිරවී මියයනවාද?
🔥 අභ්‍යන්තර යුද්ධයේ අවසාන හැරවුම
තමන්ගේ රාගී සිත දමනය කරගන්නට ඇය තෝරාගන්නේ තොවිලයයි. කෙස්වැටිය කරකවමින් ඇය සිදුකරන නර්තනය, හුදු අංගචලනයක් නොවේ. එය තමන්ගේම සිතේ ඇති අඳුරු කුටිවලට එල්ල කරන ප්‍රහාරයකි. එහෙත්, අවසාන තත්පරයේදී පපුව නතර කරවන මහා හැරවුම් ලක්ෂ්‍යය මතුවේ. කළු කුමාරයාගේ මුහුණේ ඇති රෙද්ද ඉවත් කළ විට මතු වන්නේ වෙනකෙකු නොව, කාංචනාමයි!
💡 අවසාන විග්‍රහය
අප බිය වන 'කළු කුමාර දිෂ්ටිය' පිටතින් එන්නක් නොවේ. එය අපගේම සිත තුළ වර්ධනය වන ආශාවන්ගේත්, සමාජය පැනවූ සීමාවන්ගේත් එකතුවකි. 'මනමාල කතා' අවසානයේ අපට පවසන්නේ රාගයට වඩා ආත්ම දමනය උත්තරීතර බවයි.
බොහෝ දෙනා මේ ගීතය රසවිඳ ලස්සන සින්දුවක් කියා මඟ හැරියද, මෙම රූපරාමු පෙළෙහි සැඟවී තිබූ ගැඹුරු මනෝවිද්‍යාත්මක තේරුම ඔබ දුටුවාද ?
අවසාන වශයෙන්, 'මනමාල කතා' අපිට ඉතිරි කර යන්නේ ප්‍රශ්න ගොඩක්. අපි ඇත්තටම කැමති සත්‍යයටද? නැත්නම් අපේ නම්බුව රකින ඒ 'සුදු රෙද්දට'ද? මේ දේවල් ගැන සමාජයක් විදිහට අපි කතා කරන්න ඕනෙමද?
✍️ රචනය
හිරුනි චමෝද්‍යා
21 වසර
ශාස්ත්‍ර පීඨය
🖥️ පරිඝණක රූ
ඩිලන්ක පියුමාල්
22 වසර
ඉංජිනේරු පීඨය
🔍 සෝදුපත් කියවීම
රණහංසි රණවීර
පුවත්පත් කලාවේදී
සතිඅග අරුණ
නිසංසලා උදයංගනී
21 වසර
ශාස්ත්‍ර පීඨය
Sajitha Anuththara Anthony Kanchana Anuradhi
#අභින_එකමුතුව