09/08/2015
අගෝස්තු 17 රවි සිංහ මාරුව ඔබට කොහොම ද ?
සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්තයා සූර්ය දිව්‍ය රාජයා ඔහුගේම බළකොටුවට පැමිණීම මුළු විශ්ව තලයටම මහා බලයක් උදාකරදෙනු ඇත. ලෝකග්‍රහ කේන්ද්‍රයේ (මේෂ රාශිය) පස්වෙනි භාවයට පැමිණීමෙන් රටේ ලෝකයේ උගත් යැයි සම්මත බුද්ධිමතුන්ට යම් ජවයක්, ශක්තියක් ලබාදීමට හේතුවීම තාවකාලික වුවත් සතුටට කරුණකි.
සාමාන්‍ය ජනතාවට දුරදක්නා නුවණක්, තැනට සුදුසු නුවණක් ඇති කරවන්නට හේතු වන්නකි. ඊට අමතරව මෙම කාලසීමාව තුළ (2015 අගෝ. 17 සිට සැප්. 17 දක්වා) මෙලොවට බිහිවන දරුවන්ට වාසනාවන්ත උපතක් සිදුවීමට හේතුවනවා ඇත.
සූර්යයාගේ බලය, රැස් වළල්ල උත්තේජනය වීමත් සමග ජලය වාෂ්ප බවට පෙරළී හදිසි ගංවතුර තත්ත්වයක් ද උදාවීමට හේතුවේ.
අපගේ මාතෘභූමිය තුළ බලවතුන්ගේ ඒකරාශී වීමත්, බුද්ධිමතුන්ගේ හඩ රැව්පිළිරැව් දීමටත් හේතුවනවා ඇත. මෙම තත්ත්වය සත්තකින්ම යහපත් පෙරනිමිත්තකි.
මෙම ග්‍රහමාරුව තවත් බලවත් වීමට ක්‍රියාශීලී මෙන්ම සටන්කාමී කුජ සමග ප්‍රඥාවට අධිපති ගුරු - සිංහ රාශියේ දී මුණ ගැසීමත්, ඉහත කී තත්ත්වය තීව්‍ර කිරීමට හේතුවනු ඇත.
මෙම යහපත් ග්‍රහ ගමන නිසා ලග්න 12න් 3 වැන්නට, 6 වැන්නට, 7 වැන්නට, 10 වැන්නට හා 11 වැන්නට පැමිණෙන ලග්න හිමියන්ට බලාපොරොත්තු මුදුන්පත් වන සුවිශේෂී වූ අවස්ථාවන්ට මුහුණදීමට හේතුවීම විශේෂයි.
මේ අනුව තුලා, මිථුන, වෘශ්චික හා මීන ලග්න හිමියන්ට ඉතාම සතුටුදායක තත්ත්වයක් ඇතිවේ. කුම්භ, ධනු, මකර සහ වෘෂභ යන ලග්න හිමියන්ට යම් තරමකින් හෝ බලාපොරොත්තු ඉටුවීමට හේතුවන අතර මෙතෙක් ඉතාම බලවත්ව රවි සිංහ රාශියේ 11 වැනි භාවයේ ගමන් කළ කන්‍යා ලග්න හිමියන්ට, තුන්වැනි භාවයේ රවි ගමන් කළ වෘෂභ ලග්න හිමියන්ට, 6 වන භාවයේ රවි ගමන් කළ කුම්භ ලග්න හිමියන්ට මෙතෙක් පැවති යහපත් ග්‍රහගෝචරය යම් තරමක දුර්වල වීමක් පෙන්නුම් කරනු ඇත.
විශේෂයෙන් ම නිල ඇදුම් ඇදගත් බලයලත් උදවියට බලය පාවිච්චි කිරීමටත්, රවි කුජ දෙදෙනා සිංහ රාශිගත වීමෙන් මහාපරිමාණ වගකීම් සම්භාරයක් පැවරීමටත් හේතුවන අතර ප්‍රඥාවන්ත බ්‍රහස්පති ග්‍රහයා (ගුරු) සම්බන්ධ වීමෙන් ඉවසීමෙන් තැනට සුදුසු නුවණින් ක්‍රියාත්මක වීමට ප්‍රඥාව පහළ කරදෙනු ඇත. ස්වභාව දහම විසින් එවැනි යහපත් මානසිකත්වයක් උදාකර දීමට රටේ ඉහළ පහළ සැමටම නැණ නුවණ පහළ කරදෙනු ඇත.
බලයට අධිපති රවිත්, සටන්කාමී කුජත් සුසංයෝග වීමෙන් ඇතිවන දරදඩු තත්ත්වයක් ගුරුගේ (බ්‍රහස්පතිගේ) මැදිහත් වීමෙන් සමනය වීම අපගේ මාතෘභූමියේ භාග්‍යයකි.