03/03/2026
"කඳුලක් වට්ටවා සිනාවක් අස්වැද්දිය හැක..."
ඉතින් ලස්සන ගෑණු ළමයෝ...
ජීවිතේ කියන්නේ හැමදාම දිනන සෙල්ලමක් නෙවෙයිනේ. සමහර වෙලාවට අපි ආදරේ කරපු මිනිස්සු අපිට අහිමි වෙනවා, අපි මහන්සි වුණු ඉලක්ක අපෙන් ගිලිහෙනවා, එහෙමත් නැත්නම් අපි බලාපොරොත්තු නොවුණු පරාජයන්ට මුහුණ දෙන්න, ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඉතින් ඒ හැම මොහොතකම ඔයාගේ ඇස්වලින් වැටෙන කඳුළුවලට ඔයා බය වෙන්න එපා.
මනෝවිද්‍යාත්මකව බැලුවොත්, අහිමි වීමක් හරි පරාජයක් හමුවේ හරි අඬන එක දුර්වලකමක් නෙවෙයි. ඒක තමයි ඔයාගේ මනසේ සිදුවන ශෝකය කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ Grief Process එක. අපේ හිත ඇතුළේ පිරෙන වේදනාව, පීඩනය සහ කලකිරීම කඳුළක් හරහා පිටවීමට අපි කියන්නේ Catharsis කියලා. ඒ කඳුළු ඔයාගේ මනස 'Reset' කරනවා. අන්න එතැනදී තමයි ඔයාගේ අභ්‍යන්තර ශක්තිය නැවත ගොඩනැගෙන්න පටන් ගන්නේ.
දන්නවද ගෑණු ළමයෝ...
මනෝවිද්‍යාවේ තියෙන ප්‍රබල සංකල්පයක් තමයි Post-Traumatic Growth (කම්පනයෙන් පසු වර්ධනය) කියන්නේ. මනුස්සයෙක් තමන්ගේ ජීවිතේ අතිශය අසීරුම කඩාවැටීමකට පස්සේ, කලින්ටත් වඩා ඉතා ඉහළ මානසික ශක්තියකින් සහ නව දැක්මකින් නැගී සිටිනවා කියන එකයි ඒකෙන් අදහස් වෙන්නේ. අද ඔයාගේ අතින් ගිලිහිලා ගිය ඒ අහිමි වීම, හෙට දවසේ ඔයා ලබන විශාල ජයග්‍රහණයකට අවශ්‍ය කරන ආවේගාත්මක බුද්ධිය, තේරෙන වචනයෙන් කියනවා නම් Emotional Intelligence එකක් දෙන හොඳම ගුරුවරයා වෙන්නේ.
ඉතින් ලස්සන ගෑණු ළමයෝ,
වැටෙන හැම කඳුළකටම ඔයාගේ පරණ, දුර්වල අනන්‍යතාවය සේදිලා යන්න ඉඩ දෙන්න. ඒ හිස්වන අවකාශය ඇතුළේ ඔයාගේ අලුත් හීන, අලුත් බලාපොරොත්තු සහ ස්වයං විශ්වාසය වගා කරන්න. අද ඔයා අත්විඳින පරාජය හෝ වෙන්වීම, හෙට දවසේ ඔයා අත්විඳින සැබෑ නිදහස් සිනාවට පොහොරක් කරගන්න. තව කෙනෙක් නිසා හෝ තාවකාලික බාහිර සාධකයක් නිසා ඇතිවන සිනාවට වඩා, තමන්ගේම කඳුළු මතින් නැගී සිට ලබාගන්නා සිනාව හරිම වටිනවා ගෑණු ළමයෝ. මොකද ඒ සිනාව කිසිම පරාජයකින් හෝ අහිමි වීමකින් ලෙහෙසියෙන් හොලවන්න බැහැ.
ඔයා දන්නවද ගෑණු ළමයෝ...
කඳුළු වලින් තෙත් වුණු හදවතක අස්වද්දන සිනාව හරිම ශක්තිමත්. ඒක පසුපස ඉන්නේ දහස් වාරයක් පැරදිලා, දහස් වාරයක් අඬලා, අන්තිමේදී තමන්ගේම වටිනාකම තේරුම් ගත්තු ශක්තිමත් ගැහැනියක්.
මතක තියාගන්න ළමයෝ,
ඔයාගේ වටිනාකම තීරණය කරන්න ඕනේ ඔයාම මිසක්, ඔයාට අහිමි වුණ දේවල්වත් ඔයාව පරාජය කළ මිනිස්සුවත් නෙමෙයි.
.
ආදරෙන්,
සචිත්‍රා සමරසේකර 💜
(Counselor & Psychotherapist