11/06/2020
ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
හිමිදිරියෙන් ම පටන් ගත්ත වැස්ස නිසා අද දවස පුරා ම සිසිලයි. මන්දාරමෙන් වැසුණු වටපිටාවෙන් හමාගෙන එන සුළඟත් එක්ක මුහු වෙච්ච හිරිකඩ ගතට සනීපයක් ගෙනාවට හිතට නම් ගෙනෙන්නෙ හරිම කම්මැලිකමක්. වෙන කිසි ම වැඩක් කරන්න හිතෙන්නෙ ම නැතිවුණත් මිහිරි ගීතයක පද වැලක් අතර අතරමං වෙන්න නම් මීට වඩා හොඳ වෙලාවක් නම් තවත් නැහැ.
ගීතයක් ගැයෙන්නෙ මිනිත්තු තුන හතරක් වුණත් සමහර ගීතවල දිග කතාවක්, කාගේ හෝ ජීවිත අත්දැකීමක් හැංගිලා තියෙනවා. ඒ කතාව දැනගෙන ම ගීතය අහනවනම් ගීතයේ රසය හොඳින් විඳින්න පුළුවන්. මේ ලියන සටහනත් එවැනි කතාවක් ගැනමයි.
මේ කතාවේ කතා නායකයා යොවුන් වියේ ඉන්න කඩවසම් සරසවි ශිෂ්යයෙක්. ඔහු සරසවියෙ අධ්‍යාපනය ලබද්දි විශ්ව විද්‍යාලයෙන් සංවිධානය කල චාරිකාවකට සහභාගී වෙන්න ඔහුට අවස්ථාවක් ලබෙනවා. මේ චාරිකාව අතරතුරේදි තමයි ඔහුට ඇය මුණ ගැසෙන්නෙ. චාරිකාව පුරාම එකටම ගමන් කරන ඔවුන් දෙදෙනාගේ හදවත් ප්‍රේමයේ රැහැනින් බැඳෙන්නෙ නිරායාසයෙන්.
ඇය ඔහුට වඩා ජේෂ්ට වසරක ඉගනුම ලබන ශිෂ්‍යයාවක්. නමුත් ජාති, ආගම්, කුල ඉක්මවා යන ප්‍රේමයට මෙය බාධාවක් වෙන්නෙ නැහැ.
අහඹු හමුවීමක් නිසා ඇතිවුණු මේ ප්‍රේමය දලු දා වැඩෙන්න වැඩි කාලයක් යන්නෙ නැහැ.
ප්‍රේමය නමැති සරසවියෙදි ඔහුගෙ ඇදුරුතුමිය වන්නෙ ඇයයි.මෙයයි ඔහුගෙ පළමු ප්‍රේමය. ඔහුගෙ සොම්නසේ උල්පත වෙන්නෙ ඇය. තව්තිසාවෙ තියනවයි කියන සක් දෙවිගෙ මල් උයන වන නඳුන් උයන වගෙ ඔහුගෙ ලෝකය ලස්සන තැනක් කරන්න ඇගේ ප්‍රේමයට හැකි වෙනවා.
නමුත් ඔහුගෙ කුලුඳුල් ප්‍රේමයේ බලාපොරොත්තු බොඳවෙලා යන්නෙ ඇය එළිකරන රහසක් නිසා. ඇත්තට ම ඇයට ඒ වෙද්දිත් විවාහය සඳහා යෝජනා කළ තරුණයෙක් ඉඳලා තියනවා. ඔබ මා නොදන්නා හේතුවක් නිසා ඇයට ඔහුව ප්‍රතික්ශේප කරන්න බැහැ. නමුත් ඇයට මේ ප්‍රේමය අතහරින්න හිත හදාගන්නත් බැහැ
දෙලොවක් අතර අතරමං වන ඇය අවසානයේ තීරණය කරන්නෙ ඔවුන් සරසවියෙ ඉගනුම ලබන තෙක් මේ සම්බන්ධය තියාගන අවසානයේ වෙන් වෙන්න.
හිරු නැඟ එද්දි සඳු බැසයනවා වගේ ඇයගෙ ලෝකයට හිරු උදාවෙද්දි ඔහුට ඇයගෙ ජීවිත අහසින් බැහැල යන්න වෙනවා. සොම්නසේ ආනන්දයේ උල්පතක් වුණු මේ ආදරය ඔහුට දැන් කඳුළු සයුරක උල්පතක් වෙනවා. නමුත් ඔහු මේ නිසා ජීවිතය විනාශ කරගන්නේ නැහැ. පසු කලක ඔහු කීර්තිමත් මහාචාර්යවරයෙක් වනවා. නමුත් ඔහු තනිකඩව ම ජීවිතයෙ ඉතිරි කාලෙ ගෙවන්න තීරණය කරනවා. ඔහු යාපනය විශ්ව විද්යාලයේ ඉගැන්වීම් කරද්දි ඔහුගෙ මේ අත්දැකීම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අතින් ගීතයකට ගොනු වෙනවා.
සුනිල් ආරියරත්නයන් 1975 දවසක මේ ගීතය වික්ටර් රත්නායකයන්ට දීලා කියනව
, "වික්ටර්, ඔයා මේ ගීතය සංගීතවත් කරලා ගායනා කරන්න. මේ ගීතයට තනි සංගීත භාණ්ඩයක් විතරක් යොදා ගන්නව නම් හොඳයි".
ඒ කියපු විදියට ම වික්ටර් රත්නායකයන් ගිටාරය පමණක් යොදාගෙන සුමිහිරි තනුවක් නිර්මාණය කරලා ඔහුගෙ මන මෝහනීය කට හඬින් මේ ගීතය ගායනා කරනවා,
"දෛව යෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ".
මේ ගීතය ගායනා කරන වික්ටර් රත්නායකයන් අද වියපත්. ගීතය ලියූ සුනිල් ආරියරත්නයන් ද වියපත්. නමුත් දශක ගණනාවක් ගත වුණත් ගීතය නම් තවම තරුණයි. තවත් බොහෝ කාලයක් මේ ගීතය අපේ සවන් පින්වාවි.
(පින්තූරය සුනිල් ආරියරත්නයන්, වික්ටර් රත්නායකයන්ට ලියා දුන් ගීතයයි.)
සටහන - අසේල.
Copied from Janith Nadeera