Life with Vinu

Life with Vinu Creativity is an art! I love art. I love to share my day today life experiences with everyone.

පසුගිය සති අන්තයේ වූ වැසිබර තත්ත්වය එක්ක මාත් අපේ පවුලේ කට්ටියත් නිවසට වී කාලය ගත කළා. ඒ අතරතුර අලුත් කෑමක රස බලන්න අපේ ...
16/07/2024

පසුගිය සති අන්තයේ වූ වැසිබර තත්ත්වය එක්ක මාත් අපේ පවුලේ කට්ටියත් නිවසට වී කාලය ගත කළා. ඒ අතරතුර අලුත් කෑමක රස බලන්න අපේ පුතාට ආසාවක් ඇති වුණා. ඒත් ඒ වනවිට අධික වැස්ස නිසා අවශ්‍ය දේවල් ගේන්න කඩේට යන්නත් ලොකු ආසාවක් තිබුනේ නෑ. ඒ අනුව ගෙදර තියෙන දේවල් වලින් රස කෑමක් හදමු යැයි අපි තීරණය කළා. ඒ අනුව අල පිට්සා හදමු කියලා මම පුතාට යෝජනා කළා. පුතාත් ඉතින් දෙපාරක් හිතන්නේ නැතිව මගේ අදහස ස්ථිර කළා.
අවශ්‍ය ද්‍රව්‍ය:
1. මධ්‍යම ප්‍රමාණයේ අල ගෙඩියක්
2. බිත්තර 1
3. රට ලූනු ගෙඩි 3
4. පාන් පිටි කෝප්ප 1
5. බටර් 50g
6. ලුණු, ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට
7. Mozzarella චීස් හෝ white sauce
8. තක්කාලි, මාලු මිරිස්, සොසේජස්

මුලින්ම අල ගෙඩිය සුද්ද කරලා ඒක පොඩි තීරුවලට ග්‍රේට් කර ගන්න පුතා හරිම කැමැත්තෙන් මට උදව් කළා. ඒ අතරතුර මම රට ලූනු ගෙඩි 2ක් වගේ හීනියට කපා ගත්තා. ඊටපස්සේ අල හා ලුණු එක භාජනයකට දමා එයට බිත්තරයක් හා රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු එකතු කළා. අනතුරුව එයට පාන් පිටි කෝප්පය එකතු කරලා ඒ සියල්ල එකට මිශ්‍ර කරන්නකන් පුතාත් මගේ වටේ කැරකි කැරකි නොයෙකුත් ප්‍රශ්න විමසමින් හිටියා. ඒ නිසා මේ වැඩේ තවත් උද්යෝගයෙන් කරන්න අපි දෙන්නටම පුළුවන් වුණා.
ඊටපස්සේ අපි දෙන්න nonstick පෑන් එකක් ලිපේ තියලා එකට බටර් ටික දාල ඒක රත් වෙනකොට කලින් සාදා ගත් මිශ්‍රණය රවුමට එකතු කළා. එහි එක පැත්තක් හොදින් රන්වන් පාට වූ පසු අනෙක් පැත්ත හරවා එයට ගෙදර තිබුණු චීස්,තක්කාලි, මාලු මිරිස් එකතු කළා. මේ ආකාරයට අපි සකස් කර ගත් පිට්සා එක මේ විදියට ලස්සනට ඡායාරූප ගත කලේ නම් මගේ මහත්තයා තමයි. දැන් පුතාට මේකේ රස බලනකන් ඉස්පාසුවක් නෑ. ඉතින් අපි තුන් දෙනාම එදා රෑ කෑමට මේ විදියේ අල පිට්සා තුනක් හදාගෙන රස වින්දා. ඔයාලගේ ගෙදර මේ විදියට හැදෙන විශේෂ කෑම පිලිබඳ අනෙක් අයත් දැනුවත් කරන්න මේක හොද විදියක් කියලයි මට නම් හිතෙන්නේ. ඔයාලගේ අදහස් මාත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.

අද මම ඔයාලා එක්ක බෙදාගන්න හිතුවේ අපේ පුතාගේ පුංචි සුරතලා වන fluffy ගැනයි. එයා පුංචි සුරතල් lion pomeranian වර්ගයේ කළු හා...
09/07/2024

අද මම ඔයාලා එක්ක බෙදාගන්න හිතුවේ අපේ පුතාගේ පුංචි සුරතලා වන fluffy ගැනයි. එයා පුංචි සුරතල් lion pomeranian වර්ගයේ කළු හා සුදු පාට බලු පැටියෙක්. එයා අපේ ගෙදරට එනකොට වයස මාස 6ක විතර හරිම පුංචි පැටියෙක්. දැන් නම් එයාට වයස මාස 18ක් වගේ වෙනවා. එයා මුල්ම දවස් වල අපිව දැකලා හොදටම බය වෙලා හිටියේ. ඇත්තම කිව්වොත් මුල දවස් වල නම් මාත් වැඩියේ ආස වුනේ නෑ පුතාව බලු පැටියා හපයි කියලා බය වුන නිසා වගේම මෙයාගේ බලු ලොම් වලින් පුතාට කරදරයක් වෙයි කියලත් බයක් දැනුණා. දැන් නම් මම දන්නවා පුතා මොන දේ කලත් fluffy නම් එයාට කරදරයක් කරන්නේ නෑ කියලා.

කොහොම වුනත් මේ වෙනකොට නම් අපේ පවුලේ හැමෝම ගෙදර එන්නේ fluffy කොහෙද කියලා බලන ගමන් තමයි. දවසේ ටික වෙලාවක් හරි එයාව හුරතල් කරන්න හා එයත් එක්ක සෙල්ලම් කරන්න ගෙදර හැමෝම ආසයි. fluffy ත් හවස් වෙනකොට පාර දිහා බලාගෙන ඉන්න පුරුදු වෙලා ඉන්නේ. අපි ගෙදර එනකොට පුතාට කලින්ම බලු පැටියා දුවගෙන එනවා නැට්ට වන වන. එයා දන්නවා පුතාට ගේන හැම කෑමක් ම එයාටත් ලැබෙනවා කියලා. Yoghurt කන්න නම් එයා හරිම රුසියා. දෙන්න කලින් ඒක කාලා කෝප්පෙත් ලෙව කනවා. හැබැයි අපි එයාට පැණි රස දේවල් නම් දෙන එක නම් සීමා කරලා තමයි තියෙන්නේ.

පුතයි fluffyයි හැමදේම කරන්නේ එකට. පුතා මොන්ටිසෝරි ගිහින් එනකන් බලු පැටියා බලාගෙන ඉන්නේ හරිම නොඉවසිල්ලෙන්. ආවම එයා බෑග් එක තියන්නත් කලින් දුවගෙන ඇවිල්ලා එයාව ලෙව කාලා ඉබලා පිළිගන්න විදිය නම් හරිම පුදුමාකාරයි. දෙන්නම බත් කන්නෙත් එකම වෙලාවට. සමහර දවස් වලට පුතා හිටියේ නැත්තම් බලනකොට බලු පැටියා කාලත් නෑ. බත් කාලා පුතා ඇදට යනකොට fluffy ත් ඒ ඇද යටට වෙලා සද්ද නැතුව නිදා ගන්නවා. පුතා නැගිටින්න පරක්කු වුනොත් ඇදට අත් දෙක තියලා බලනවා එයා තාම නිදි ද කියලත්. ඒ දෙන්නා අතර තියෙන බැදීම නම් වචනයෙන් කියන්න බැරි තරම් හරිම ලස්සනයි. පුතාට කවුරු හරි කරදර කරනවා වගේ දැනුනොත් එයා කෑ ගැහුවොත් fluffy දුවගෙන එන්නේ එයාට පැවරුණු වගකීමක් වගේ.

ඔයත් අසා නම් ඔයාලගේ සුරතලා ගැන මේ විදියට අපිත් එක්ක බෙදා ගන්න.

පහුගිය දවස්  වල තිබුණු අසනීප තත්ත්වය එක්ක අලුත් දෙයක් ගේන්න ලැබුනේ නැහැ. අලුත් මාසයක් ලබපු ඊයේ දවස ඔයාලට කොහොමද? අද මට හ...
02/07/2024

පහුගිය දවස් වල තිබුණු අසනීප තත්ත්වය එක්ක අලුත් දෙයක් ගේන්න ලැබුනේ නැහැ. අලුත් මාසයක් ලබපු ඊයේ දවස ඔයාලට කොහොමද? අද මට හිතුනා උදැසන වැඩ ආරම්භ කරන එකේ වැදගත්කම ගැන පොඩ්ඩක් ලියන්න ඕන කියලා. මම වුනත් පොඩි කලේ පාසල් යන දවසට උදෙන් නැගිට්ටත් සති අන්තයේ වැඩිපුර ටිකක් නිදා ගන්න තමයි ගොඩක් ආස කලේ. ඒත් පුතා ආවට පස්සේ ඒක මුල කාලේ නම් හීනයක් වගේ වුණා. මේ වෙනකොට මාත් ඒ දේට පුරුදු වෙලා කියලා මටත් හිතෙනවා. සති අන්තයේ වුනත් උදේම නැගිටලා ගෙදර වැඩ පටන් ගත්තාම දවසම හරිම ප්‍රබෝදයෙන් ගත කරන්න පුළුවන්.
අපේ ජීවිත වලට ලැබෙන සමහර අභියෝග අපි සතුටින් බාරගෙන කටයුතු කලොත් ඒවා බරක් විදියට අපිට දැනේනේ නෑ. උදේම නැගිටලා නිදහස් හිතින් අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. අපේ හිතට අලුත් අදහස් ගලාගෙන එනවා. මම නම් උදෙන්ම කරන්න ආස ලස්සන මිහිරි ගීතයක් හෝ ජීවිතේට වටින දෙයකට ඇහුම්කන් දෙන්න. උදේට අපිට කරන්න පුළුවන් වැදගත් දේවල් නම්;
1. වතුර වීදුරුවක් පානය කිරීම.
2. භාවනා කිරීම / යෝග හෝ ශරීර සුවතා වැඩ කටයුතු සිදු කිරීම.
3. පෝෂදායි උදැසන ආහාර වේලක් ගැනීම.
4. තමන් නිදා ගත් ඇද හා ඇතිරිලි පිළිවෙලකට සකස් කිරීම.
5. තේ හෝ කෝපි කෝප්පයක රස බැලීම.

මේ වගේ ඔයාලත් උදේට නැගිට්ටම කරන්න ආස දේවල් අනිත් අයත් එක්ක බෙදා ගන්න මෙන්න අවස්ථාවක්. සුබ දවසක්!

ජීවිතේ අපි ආස කරන දේවල් වලට අපි කාලය හොයා ගන්නේ කොහොමද කියලා මට සමහර වෙලාවට හිතා ගන්නවත් බෑ. සමහර වැඩ අනිවාර්යෙන් කරන්න ...
20/06/2024

ජීවිතේ අපි ආස කරන දේවල් වලට අපි කාලය හොයා ගන්නේ කොහොමද කියලා මට සමහර වෙලාවට හිතා ගන්නවත් බෑ. සමහර වැඩ අනිවාර්යෙන් කරන්න ඕන වුනත් ඒවා කරන්න අපේ හිතේ ආසාවක් ඇති වෙන්නේ නෑ. ඇත්තම කිව්වොත් සමහර වැඩ මම කොච්චර අසාවෙන් පටන් ගත්තත් එක පුරුද්දක් විදියට කර ගෙන යන්න මට කම්මැලි හිතෙනවා. නැත්තම් ඒ තිබුණු උනන්දුව නැති වෙලා යනවා. මම දන්නවා ඒක මගේ දුර්වලතාවයක් කියලා හැබැයි එහෙම වුන තැන් මගේ ජීවිතේ තියෙනවා. ඒ වගේම තමයි මට ආසාවෙන් ඒ දේ කරන්න හිතුනොත් මම ඒක මොන අමාරුව තිබ්බත් කරනවා. පහුගිය දිනවල මම ලියපු පොස්ට් බලලා ඒවා අගය කරපු මගේ යාලුවෝ ගොඩක් දෙනෙක් හිටියා. ඒ නිසාම ඒ වෙනුවෙන් කාලයක් හොයා ගන්න මට අමාරු වුනේ නෑ.

අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ දන්සල් දෙන එක ගැන. මේ දවස් වල පොසොන් පෝයත් එක්ක හැමෝම දන්සල් දෙන්න හරිම උනන්දුවෙන් ඉන්නේ. ඒ නිසාම මම රාජකාරි කරන තැනත් අද කඩල දන්සැලක් පැවැත්වුණා. ගොඩක් තැන් වල වෙසක් පෝයට වගේම මේ දවස් ටිකේම බත්, කඩල, රොටි, මඤ්ඤොක්කා වගේ විවිධ කෑම වර්ග වගේම සව්, සුප් වගේ බීම දන්සැල් තියෙනවා කියලා මම පෝස්ටර්, බැනර් ගොඩක් දැක්කා. ඒ වගේම තමයි හරිම ලේසියෙන් පහසුවෙන් දෙන අයිස් ක්‍රීම් දන්සලුත් මේ වගේ දවස් වලට ගොඩක් තැන් වල දකින්න ලැබෙනවා. ඊට අමතරව ඇතැම් අය දෙන සුවිශේෂී දන්සැල් කිහිපයකුත් එනම් පොඩි සුවද විලවුන් බෝතල්, බලු පැටව්, කප් කේක්, පොත් හා ලිපි ද්‍රව්‍ය ආදිය මගේ නෙත ගැටුණා. මට හිතුණා ඇත්තටම මේ වගේ දෙයක් දෙනවා කියලා හිතන්න පුළුවන් මිනිස්සු අපි අතර ඉන්න එකත් වාසනාවක් කියලා.

ඉස්සර අපි පොඩි කාලේ නම් මගේ අම්මියි තාත්තයි අයිස් ක්‍රීම්, බීම වගේ දන්සැලකට ඇර වෙන කිසිම දන්සැලකට යන්න දෙන්නේ නෑ. එයාලට බයයි ඒවා කාලා අපිට බඩේ අමාරුවක්, කෑම අජීර්ණයක් වගේ හැදෙයි කියලා. හැබැයි මගේ මහත්තයා ලැබුනට පස්සේ මට තිබුණ ලොකුම ආසාව තමයි මේ වගේ දවස් වලට එලියට ගිහින් දන්සල් වලින් කන එක. එයා මට ඒ සදහා සම්පූරණ නිදහස දීලයි තියෙන්නේ. දැන් අපේ බබා වුනත් ඒ වැඩේට මට ලොකු සහයෝගයක් දෙන්නේ. නිදහසේ හිතලා බැලුවොත් දැන් බොහෝ දෙනෙක් කෑම පිළියෙළ කරනකොට සනීපාරක්ෂාව ගැන බොහොම සැලකිලිමත් වෙනවා . අත්වැරදීමකින් එහෙම දෙයක් වෙන්න බැරි නෑ. අනිත් එක මේ දවස් වල පැතිරෙන වෛරස් උණ තත්ත්වයන් එක්ක පරිස්සම් වෙන එකත් හොදයි කියල මටත් හිතෙනවා. නමුත් තව පැත්තකින් මට හිතෙනවා අපි දන්සලේ දෙන කෑම අර ගෙන තුලින් ඒක පිළියෙළ කල පුද්ගලයින් ලැබෙන කෘත ගුණ සැලකීමක් විදියටයි. ඒ වගේම එතුලින් සමාජයීය පුද්ගලයින් අතර මනා සහයෝගයක් ගොඩ නැගෙනවා. ඒක අපිට මේ ජීවිත කාලයේදී ලැබෙන ලොකු අත්දැකීමක් විදියටයි මට නම් හිතෙන්නේ.

ඔයාලා මේ ගැන මොකද හිතන්නේ කියලා මාත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. අද අපේ දන්සලේ පින්තුරයක් මේ.

අද මගේ බලාපොරොත්තුව, පහුගිය දවසේ පොරොන්දු වුන විදියට අපේ නෙලුම් කුළුණ (Lotus Tower) ට ගිය ගමන ගැන පොඩි විස්තරයක් ලිව්වොත...
14/06/2024

අද මගේ බලාපොරොත්තුව, පහුගිය දවසේ පොරොන්දු වුන විදියට අපේ නෙලුම් කුළුණ (Lotus Tower) ට ගිය ගමන ගැන පොඩි විස්තරයක් ලිව්වොත් ඒක ගොඩක් අයට වැදගත් වෙයි කියලා මම හිතුවා. මම වගේම ඔයාලත් කොළඹ අවට ඉන්න අය ගොඩක් දෙනෙක් පාරේ යනකොට ඈතට උසට තියෙන කුළුණක් විදියට දැකලා ඇති. ඒත් එතන උඩට ගියාම මට හිතුනා මේ ලස්සන බලන්න අපි මෙච්චර පරක්කු වුනේ ඇයි කියලා. ඒක වෙනමම ලෝකයක් කිව්වොත් හරි. අපි ගිය දවසේ නම් හොදට ඉර පායලා එහෙම තිබුණු නිසා ඒක හරි ලස්සනට දිස්වුණා.

නෙලුම් කුළුණ තියෙන තැනට එහා පැත්තේ වාහන නවත්තන්න වෙනම තැනක් තිබුණත් එදා එතන පිරිසිදු කරනවා කියලා අපිට පාරෙන් එහා පැත්තේ වාහනේ නවත්තලා එන්න සිද්ධ වුණා. කොහොම හරි අපි එතනට එනකොට වෙලාව හවස 5 විතර ඇති. ඒ වෙනකොටත් ඒ අවට සෙනග ගොඩක් පිරිලා හිටියා. ඇතුල් වෙන දොරටුව ලගම ප්‍රවේශ පත්‍ර මිලදී ගන්න මිනිස්සු පේළියක් හැදිලා හිටියා. අපිත් එතනට එකතු වෙලා වැඩිහිටියන් සදහා වූ ප්‍රවේශ පත්‍ර දෙකක් හා ළමා එක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත්තා. ඇතුළු වෙන තැනම තිබුණු වතුර මල ළග වාඩි වෙලා අපි තුන් දෙනා ලස්සන පින්තුර කිහිපයකුත් අපේ මතක සටහන් වලට එකතු කර ගත්තා.

නෙලුම් කුළුණේ බලන්න ලැබෙන අත්දැකීම් දෙක තමයි තාක්ෂනය උපයෝගී කරගෙන ක්‍රියාත්මක වෙන pixel boom එක සහ observation deck එක. මුලින්ම අපි විදුලි සෝපානයේ 27 වන මහලේ පිහිටා තිබු observation deck එකට ගියා. ඒ යන අතරමගදී අපේ කණ අගුළු වැටුනා කියලා අපි හැමෝටම දැනුණා. එතන ඉන්නකොට ශ්‍රී ලංකාව පේන්නේ අපි ගුවන් යානයක ගමන් කරනකොට පහල පේන විදියටමයි. ඒ අත්දැකීම නම් හරිම සුන්දරයි. කොච්චර වෙලා බලන් හිටියත් එපා වෙන්නේ නෑ. observation deck එකේ වටේට ශ්‍රී ලංකාවේ අපිට පේන තැන් වෙන වෙනම සටහන් කරලා තිබ්බා. උදාහරණයක් විදියට ශ්‍රී ලංකා මහාධිකරණය, ශ්‍රී ලංකා පාර් ලිමේන්තුව, බේරේ වැව, ශ්‍රී පාදය, කටුනායක ගුවන් තොටුපල මේ අතරින් සමහරක්. හවස 7 විතර වෙනකොට නෙලුම් කුළුණ වටේට තියෙන පාට පාට ලස්සන විදුලි බුබුළු පත්තු වෙන්න පටන් ගත්තා.

ඉර බැහැලා යන වෙලාවට ඒ අවට තියෙන සුන්දරත්වය වචන වලින් විස්තර කරන්න බැරි තරම්. ඊට පස්සේ අපි pixel boom නමින් හදුන්වපු මැදිරියට ගියා. ඒක තියෙන්නේ පළවෙනි මහලේ. ඒක ඇතුලට ගිය අපිට දකින්න ලැබුනේ ශ්‍රී ලංකාව පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසින් අපේ රට යටත් කර ගත් ආකාරය හා අපේ රටේ වැදගත් පෞවුරාණික ස්ථාන පිළිබද සදහන් පොඩි වීඩියෝ කිහිපයක්. ඊළගට අපි ගිය තැන ලස්සන තිර ආකාරයට සකස් කල කොටස බොහෝ දෙනෙක් විනෝදයෙන් කාලය ගත කරනවා අපි දැක්කා. මේ සියල්ල නැරබු අපි අපේ ඊලග ගමනාන්තය වූ cinnamon lakeside හෝටලයට ඉක්මනින්ම පිටත්ව ගියේ අපේ රාත්‍රී ආහාරය ගැනීමට තිබු දැඩි උනන්දුව නිසාමයි.

ඔයාලත් නෙළුම් කුලුනට ගිය අවස්ථාවේ ගත්ත ලස්සන මතක සටන් තිබුනොත් මාත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.

අලුත් ලස්සන දවසක් උදා වෙලා තිබුණා, ඒක අපේ ජීවිත වල වැදගත් සන්දිස්ථානයක් කියලයි මට හිතුණේ. එදා උදේම අවදිවුනු මම මීට අවුරු...
11/06/2024

අලුත් ලස්සන දවසක් උදා වෙලා තිබුණා, ඒක අපේ ජීවිත වල වැදගත් සන්දිස්ථානයක් කියලයි මට හිතුණේ. එදා උදේම අවදිවුනු මම මීට අවුරුදු අටකට පෙර සහ අද අපේ ජීවිතේ වල වෙනස මදක් හිතලා බැලුවේ මගේ සුපුරුදු උදැසන තේ කෝප්පය රස බලන අතරතුරේ. ඒක ඇත්තටම හරිම සුන්දර කාල වකවානුවක් කිව්වොත් ඇත්තටම හරි. අපි යාලුවොත් එක්ක ලංකාවේ ගොඩක් තැන් බලන්න ගියා. අපි කන්න ආස කරපු කරන්න ආස කරපු ගොඩක් දේවල් කලා. ඒ වගේම ලංකාවෙන් පිට රටවල් දෙකකම සංචාරය කරන්න අපිට අවස්ථාව ලැබුණා. ඒක ඇතුලේ දුක්මුසු අවස්ථා නැතුවාම නෙමෙයි, හැබැයි ඒ දෙයක් එක්කම අපි හරිම ශක්තිමත්ව හා ආදරණීයව එකිනෙකාව තේරුම් අරගෙන ගොඩනැගුණා කිව්වොත් ඒක බොහෝ දුරට නිවැරදියි.

ජීවිතේ කියන්නේ අපිට ලැබෙන පොඩි දේකින් වුනත් සතුටු වෙලා ලස්සනට සුන්දරව ගත කරන්න ඕන දෙයක් මිසක් නොලැබුණු දේවල් ගැන පසුතැවිලි වෙන්න ඕන දෙයක් නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ දෙයක්. එහෙම වුනොත් අපිට අපි ජීවත් වෙන ටික කාලේ ඇතුලත හැමෝම වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්.

පසු ගිය ඉරිදා දවසේ අපේ 8වන විවාහ සංවත්සරය යෙදිලා තිබුණා කියලා දැනටමත් ගොඩක් අපේ යාලුවෝ දන්නවා. ඒ වගේ දවස් පොඩියට හරි සමරනවට මම ආසයි. මාත් ඉතින් එහෙම හිතලා එදාට දෙන්න කියලා දවස් දෙක තුනකට කලින් මහත්තයා වැඩ ඇරිලා එන්න කලින් අපේ පුතා එක්ක card එකක් හදන්න ගත්තා. අපේ බබාගේ ඉවසීම කියන්නේ සිකුරාදා තාත්තා වැඩ ඇරිලා එනකොටම කියලා card එක දුන්නනේ, මාත් ඉතින් පොඩි එකාගේ ආසාවනේ කියලා බලන් හිටියා. ඒක හදන්න ගිහින් විවාහ සංවත්සරය කියන්නේ මොකක්ද කියලා අපේ බබාට පැහැදිලි කරලා දෙන එකත් මට තිබුණු එක අභියෝගයක් තමයි.

මේ සැරේ අපි කතා වෙලා හිටියේ තෑගි හුවමාරු කරනවා වෙනුවට අපේ bucket list එකේ තියෙන තැනකට යමු කියලයි. ඒ ගැන විස්තර ඊලග දවසේ අරන් එනකන් එදා උදේ මම හදපු කිරිබත් පිගාන ඔයාලත් රස විදින්න.

අධික සුළං හා අධික ගැන ගං වතුර තත්ත්වය එක්ක අපි හැමෝම පසු ගිය දවස් කිහිපයම ගත කලේ හරිම බයෙන්. කාලෙකට පස්සේ අද වෙනකොට යන්ත...
04/06/2024

අධික සුළං හා අධික ගැන ගං වතුර තත්ත්වය එක්ක අපි හැමෝම පසු ගිය දවස් කිහිපයම ගත කලේ හරිම බයෙන්. කාලෙකට පස්සේ අද වෙනකොට යන්තම් හරි අව්රශ්මියක් වැටිලා තියෙනවා දැක්කාම හිතට එන්නේ පොඩි බලාපොරොත්තුවක්, ඒ තමයි ගං වතුර තත්ත්වය ඉක්මනට පහව ගිහින් හැමෝටම තම තමන්ගේ එදිනෙදා කටයුතු වල කරදරයක් නැතුව යෙදෙන්න පුළුවන් වෙන්න කියලා. ඒත් පහුගිය දවස් වල තිබ්බ තත්ත්වය එක්ක අලුත් දෙයක් ලියන්නවත් හිතට නිදහසක් තිබ්බේ නෑ.

පොඩි ළමයි කවුරුත් ආස එයාලට සෙල්ලම් බඩු(toys) ගෙනත් දෙනවට...අද ඉන්න බොහොමයක් පොඩි ළමයින්ට සෙල්ලම් බඩු එයාලට ඕනෑවටත් වඩා තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ . අපේ ගෙදර ඉන්න පොඩි උන්දැටත් එහෙමයි. අපේ පුතාගෙන් කවුරු හරි ඇහුවොත් ඔයාට මොනාද ඕන කියල එයා තාම කියන්නේ සෙල්ලම් බඩු කියලයි. ඒක දන්න නිසා එයාව දිරිමත් කරන්න ගිය සතියේ අපි අරන් දුන්න දේ ගැන තමයි අද ලියන්න හිතුවේ.

පුතාට අපි අරන් දුන්න toy එක තමයි bubble gun එකක්. ඒක හරිම පොඩි සෙල්ලම් බඩුවක් නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි ඒක ගෙනාවට පස්සේ අපි හැමෝම එකතු වෙලා සබන් බෝල (bubbles) ගොඩක් ඒකෙන් පිට වෙනවා බලලා ගොඩක් සතුටු වුණා. ඒ වගේම ටික වෙලාවකින් ඒවා පිපිරිලා යනකොට අපිට දුකක් ඇති වෙනවා. අපිට ජීවිතේ යථාර්තය අවබෝධ වෙනවා. පවුලේ හැමෝම එකතු වෙන මේ වගේ වෙලාවල් මම හිතන්නේ අපි හැමෝගෙම ජීවිත වලට ගොඩක් වටිනවා. අපිට ජීවිතේ වැටුණු තැන් වලින් නැගිටලා ඊට වඩා ශක්තිමත්ව ලෝකය දිහා බලන්න මේ වගේ දේවල් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. හිතේ තියෙන දුක් දෝමනස්ස නැති කරලා අපේ සිත් තුල නිවුණු සිතුවිලි ඇති කරනවා.

මේ පින්බර පොසොන් මාසෙයේ ඔබ සැම සියලු දෙනාගේම ජීවිත ඒකාලෝක වේවා… සත්‍ය අවබෝධ වේවා…

ලස්සන දවසක සහ අලුත් මාසයක උදාව !සියළු පැතුම් ඉටුවන සාර්ථකත්වයේ දොරගුළු ඇරෙන වාසනාවන්ත නව මසක් පතනවා හැමදෙනාටම. අලුත් දේව...
01/06/2024

ලස්සන දවසක සහ අලුත් මාසයක උදාව !

සියළු පැතුම් ඉටුවන සාර්ථකත්වයේ දොරගුළු ඇරෙන වාසනාවන්ත නව මසක් පතනවා හැමදෙනාටම.

අලුත් දේවල් ඉක්මනින් ඔයාලට අරගෙන එන්න මාත් මේ මාසේ පුරාවට හරිම ආසාවෙන් ඉන්නේ...

ගෙවුණු සති අන්තයේ තිබුණු සිතල මුසු වූ වැසි කාලගුණය එක්ක උදෑසනම උණුසුම් කෝපි කෝප්පයක රස බලන අතරතුර නිස්කලංකව හිතන්න මට අව...
29/05/2024

ගෙවුණු සති අන්තයේ තිබුණු සිතල මුසු වූ වැසි කාලගුණය එක්ක උදෑසනම උණුසුම් කෝපි කෝප්පයක රස බලන අතරතුර නිස්කලංකව හිතන්න මට අවස්ථාව ලැබුණා. හැමදාම උයන කෑම පිගාන අද වෙනස් විදියකට පිළිගන්වන්න ඕන කියලා මට හිතුණා. එහෙම හිතලා කහ බතක් පිළියෙළ කරන්න ලෑස්ති වුණා. ඒකට රම්පේ කෑල්ලක් හා එනසාල් කිහිපයක් එකතු කළේ බත ඉදුණට පස්සේ එකෙන් එන සුවද හරිම ආස්වාදජනක නිසයි.

කෑම හදනකොට ඒ වැංජන එකට ගැලපෙන තරමට රස වැඩි කියලයි මට හිතෙන්නේ...ඒ නිසාම මම පරිප්පු කිරට උයලා හාල්මැස්සෝ බදින්න කියලා තීරණය කළා. එදා මම විශේෂයෙන්ම වම්බටු මෝජුවක් හදන්න හිතුවේ ම‍ට කාලෙකින් හිතට ලොකු නිදහසක් ලැබුණු නිසයි. මගේ මහත්තයත් මම හදන විදියට ඒවා කන්න ගොඩක් ආසයි.

මගේ පුතා කැරට් කන්න ආස නිසා කැරට් සම්බෝලයක් හැදුවා. ඒකට රතු ළුණු හා පොල් විතරයි එකතු කලේ මොකද අමු මිරිස් කැල්ලක් හරි දැක්කොත් පුතා ඒක ප්‍රතික්ෂේප කරයි කියලා මම දන්න නිසා. එදා වෙලාවට පුතා උදෙන්ම ඇහැරුනේ නැති නිසා මම සැරට හදපු ඔම්ලට් එකකුත් කෑම පිගානට එකතු කලේ හරිම ආසාවෙන්...

මේ ඔක්කොම ලස්සන සුදු පාට පිගානට බෙදලා තක්කාලි මලකුත් ගහලා ෆොටෝ එකකුත් ගත්තේ ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න තිබුණු උනන්දුව නිසාමයි. මේක දැක්කාම ඔයාලට මොකද හිතෙන්නේ කියලා මාත් එක්ක බෙදා ගන්නවට මම හරිම ආසයි.

හැමෝම සතුටින් පරිස්සමින් කියලා හිතනවා.

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්, කාලෙකට කලින් අපි පොඩ්ඩක්වත් ආස නැති දෙයකට අද අපි තදින්ම ප්‍රේම කරනවා. ඇයි මම එහෙම කියන්න...
28/05/2024

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්, කාලෙකට කලින් අපි පොඩ්ඩක්වත් ආස නැති දෙයකට අද අපි තදින්ම ප්‍රේම කරනවා. ඇයි මම එහෙම කියන්නේ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්.
මගේ පොඩි කාලේ උයනවා කියන දේට මම පොඩ්ඩක්වත් ආස නෑ. අම්මා උයලා දෙන දෙයක් කාලා මගේ වැඩක් කරන් පාඩුවේ ඉන්නවා ඇරෙන්න ඒක රසයි, ඔයා ගොඩක් මහන්සි වෙලා ඒක හදන්න කියන්නවත් මට ඕන කමක් තිබ්බේ නෑ. ඒක මට පෙනුනේ කිසි වැඩකට නැති දෙයක් විදියට...හැබැයි අපේ අම්මා නම් ගොඩක් මහන්සි වුණා මට උයන්න උගන්නන්න. ඒ වෙලාවට අපේ තාත්තා කිව්වා මොලේ තියෙනවා නම් ඕන වෙලාවට උයා ගනී ඔන්න ඔහේ ඉන්න දෙන්න කියලා...
ඒත් අද වෙනකොට මම හැමදාම උදේ නැගිටලා මගේ පවුලේ අයට කෑම හදනවා. එයාලගෙන් මෙන්ම නෑදෑයින්ගෙන් හා යාලුවන්ගෙන් ඒවායේ රස ගැන අහනවා. මගේ පවුලේ අය වැඩිපුර කන්න කැමති කෑම උයලා ඒවා එයාලා ඒවා රස විදින දිහා මම බලලා සතුටු වෙනවා. අලුතින් හදන්න පුළුවන් කෑම ජාති හොයන්න අන්තර්ජාලයේ සැරි සරනවා. ඒවා හදලා ලස්සනට පිළිගන්වන්න මම හරිම ආසයි. මේ ගැන මම තව අධ්‍යනය කරන්නත් බලාපොරොත්තු වෙනවා.
කියන්න සතුටුයි යාලුවනේ හැබැයි මගේ මහත්තයා නම් මම උයලා දෙන ඕන දෙයක් හරිම රසයි කියලා කන්න පුළුවන් එක මට ගොඩක් පහසුවක් වුනා. එකටත් එක්ක අපේ පුතා නම් ගුණ දොස් හරි අගේට විස්තර කරනවා. එයා වැඩිපුර කැමති පැණි රස දේවල් වලට...

මම පසුගිය සති අන්තයේ පැණි පොල් දාලා හදපු පෑන් කේක් සහ කහට තේ කෝප්පය ඔයාලත් රස විදින්න.

වෙසක් පෝය එක්ක මේ දවස් වල තිබුණු අධික සුළග හා වැසි සහිත කාලගුණ තත්ත්වය එක්ක ජීවිතේ මම කැමති දෙයක් කරන්න ඕන කියල මට හිතුණ...
27/05/2024

වෙසක් පෝය එක්ක මේ දවස් වල තිබුණු අධික සුළග හා වැසි සහිත කාලගුණ තත්ත්වය එක්ක ජීවිතේ මම කැමති දෙයක් කරන්න ඕන කියල මට හිතුණා. මම දවස් ගානක් ගොඩක් කල්පනා කලා මම වැඩිපුරම කැමති මොනවටද කියල.

මම වැඩිපුරම කැමති සියුම් වැඩ වලට ඒ කියන්නේ ලස්සනට නිර්මාණයක් විදින්න, රස කෑම හදලා ගෙදර අයව සතුටු කරන්න, ගෙදර ලස්සනට තියන්න, මියුරු ගීතයක්, වින්දනීය චිත්‍රපටියක් රස විදින්න, ස්වභාව සෞන්දර්ය රස විදින්න කියලා මම තේරුම් ගත්තා.

අපි කැමති දේවල් කරද්දී කාලය ගතවෙනවා, ඇගට මහන්සි, හිතට වෙහෙසයි මේ කිසිම දෙයක් අපිට ගැටලුවක් විදියට පෙන්නේ නැ. එහෙම එකේ මගේ නිදහස් නිවාඩු දවස් මම ආස විදියට මම ආස අය එක්ක ගත කරන එක මම මාව උද්යෝගයෙන් තියන්න ඒ දේවල් වලට පුළුවන් වෙනවා. ඒ දේවල් අනිත් ය එක්ක බෙදා ගන්න මම ආසයි. ඒ වෙනුවෙන් ගත්ත පුංචි ආරම්භයක් තමයි මේ. මම හිතනවා ඔයාලත් මාත් එක්ක දිගටම මේ ගමනාන්තය වෙත යන්න ඉදිවී කියලා...

ලස්සන නිර්මාණයක් ඉක්මනින්ම​ අරන් එනකන් මේ පින්තුර රස විදින්න.

Address

Piliyandala
Colombo
10300

Telephone

+94715420338

Website

Alerts

Be the first to know and let us send you an email when Life with Vinu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Life with Vinu:

Share