19/07/2024
තමන්ගේ වින්දිතයා ලෙස තමාවම මුණගැසීම
මහාරාජා චිත්‍රපටය මමත් බැලුවා. මම කැමතියි මේ චිත්‍රපටයේ යටට ටිකක් එඹිලා බලන්න. ඇක්ෂන්, ත්‍රිලර් ශානරයන්ගෙන් ආවත් The Matrix Trilogy, The Inception වගේ හොලිවුඩ් චිත්‍රපටි අපි දාර්ශනික මූලධර්ම, මනෝ විශ්ලේෂණාත්මක ප්‍රවේශයන් භාවිත කරලා කියවන්න ලෑස්තියි. සහ එහෙම කියවීම් රැසක් දේශීයව සහ විදේශීයව තියනවා. ඒ ෆිල්ම්වල තියෙන වටිනාකම තමයි ඒ බරසාර දාර්ශනික හෝ මනෝ විද්‍යාත්මක එළඹුම් ගැන ඕනවට වඩා මහන්සි නොවන කෙනෙක්ට ඒ චිත්‍රපටි හුදෙක් ඇක්ෂන්, ත්‍රිලර් ෆිල්ම් විදිහට වුනත් රසවිඳින්න පුඵවන්. ඒ චිත්‍රපටි, සිනමාවේ Entertaining Value එක ගැන හිතලා ඒක ආරක්ෂා කරලා තියෙන්නේ ඒ විදහට.
ගැඹුරු කියවීමකට අවශ්‍ය සාරවත් මෙවලම් ටිකක් තිබුනත් අපි සාමාන්‍යයෙන් මහාරාජා වගේ දමිළ චිත්‍රපටි ‘මසාලා’ ගණයට වැටෙන චිත්‍රපටි ලෙස සලකා එවැනි කියවීම්වලට රැගෙන යන්නේ නැතුව අතෑරලා දානාව. ඒ චිත්‍රපටි අපි සරල, කෙටි ආස්වාදයේ එළිපත්තෙන් උඩට ගන්නේ නෑ. ගැඹුරු බරසාර කියවීම් මාළිගාවලට ඒ චිත්‍රපටි වැද්දගන්නේ නෑ.
තමන් තෝරාගත් මාර්ගයේ වින්දිතයෙක් ලෙස තමන් ම හමුවන තාක්කල් කෙනෙක්ට තමන්ගේ ගමන වීර චාරිකාවක්. මං හිතන්නේ මහාරාජා චිත්‍රපටයේ සමුදයාර්ථය තමා මේක. තම සගයන්ට දූෂණය කරන්නට ද ඉඩදී තමන් විසින් පහර දී පීඩාවට පත්කරලා තියෙන්නේ තමන්ගේම දියණිය බව චිත්‍රපටයේ අවසනායේදී සෙල්වම් දැනගන්නවා. “මගේ දුවත් බිරිඳත් මට නැති වුණේ උඹ හින්දා” යැයි කියමින් මහාරාජාට පහර දෙන්නට ඔහු එන්නේ තමන් තෝරාගත් දුෂ්ටත්වයේ මාර්ගයේ වීරයෙකු ලෙස ඉස්සරහට එමින්. ඒත් මහාරාජා හදාවඩා ආරක්ෂා කර ඇත්තේ තමන්ගේම දියණිය බව හෙළිදරව් වීමෙන් ඔහු ගොඩනැගූ වීරත්වයේ මාළිගා පොළවට කඩා වැටේ. මහාරාජා අනුන්ගේ දරුවෙක් තමන්ගේ දරුවා මෙන් හදාවඩා ගැනීමෙන් සංකේතීයව පෙන්වන්නේ කෙනේකට අනුන්ගේ දරුවන්ට ද පීතෘවරයෙක් වීමේ මානව දයාවේ විභවතාවයයි. සෙල්වම් තමන්ගේ දියණිය සහ පවුල වෙනුවෙන් අනෙකුත් දියණිවරුන් සහ මව්වරුන් මරා දමයි. එහි කිසිදු ආත්මීය ප්‍රශ්නයක් ඔහුට මතු නොවෙයි. මන්ද ඔහු එය කරන්නේ තම දියණිය සහ පවුල වෙනුවෙනි. තමන්ගේ දියණිය සහ පවුල තමන්ගේ රහස් ක්‍රියාවලියෙන් බාහැරව සිටින නිසා ඔවුන් ආරක්ෂිතයි යන්න ඔහුගේ විශ්වාසයයි.
මේ චිත්‍රපටය “කළ කම් පල දේ” වගේ සරල තැනක තියෙනවා කියලා කෙනෙක්ට යෝජනා කරන්න පුඵවන්. මම කියන්නේ කළ කම් පල දේ වගේ සරල අවසානයක් පමණක් අවශ්‍ය වුණේ නම් මේ චිත්‍රපටය සෙල්වම්ගේ දියණියගේ උපන් දිනය දවසේදී ඔහු පොලිස් අත් අඩංගුවට පත්වීම වගේ තැනකින් ඉවර කරගන්න තිබුණා. එහමෙ නැතුව තම ක්‍රියාවලියේ වින්දිතයෙකු ලෙස තමන්ගේ දියණියවම මුණගස්වන තැනක් දක්වා, තව ලේයර් එකකට මේ චිත්‍රපටය රැගෙන යන්නේ ඇයි? (Iratta කියන්නෙත් මේ වගේ චිත්‍රපටයක්).
මහාරාජා චිත්‍රපටයේ සමීකරණය අපි අපේ සමාජයට අදාළ කරලා බලමු. දූෂිත දේශපාඥයන්, කුඩු ව්‍යාපාරිකයන්, මංකොල්ලකරුවන් මේ බොහෝ දෙනේක්ට දරු පවුල් ඇත. ඔවුන් තෝරාගත් මාර්ගයේ ඔවුන් නොබියව යන්නේ “මගේ දරු පවුල වෙනුවෙන්” යන සාධාරණීකරණය පපුවේ ලියාගෙනයි. ඔවුන්ගේ හෘද සාක්ෂිය සුවපත් කරන ඖෂධය එයයි. තමන්ගේ ක්‍රියාවලියේ වින්දිතයන් ලෙස තමන්ගේ දරුවන් හමු නොවන්නට අවශ්‍ය සියල්ල ඔවුන් කරයි. ඔබ තෝරාගන්නා මාර්ගයේ වින්දිතයෙකු ලෙස ඔබට ඔබ මුණගැසෙන්නට නියමිත බව දැනෙනවනම් කරුණකරලා ආපසු හැරෙන්න !
අමිල යහලවෙල