16/07/2025
මෙලොවින් වඳවූ බවට සැක කළ ආවේණික උඩවැඩියා විශේෂයක් වසර 160 කට පසු නැවත හමුවේ.
මෙලොවින් වඳවූ බවට සැකකල Orchidaceae පවුලට අයත් ආවේණික උඩවැඩියා විශේෂයක් වන Vanda thwaitesii නම් ශාක විශේෂය නකල්ස් ප්‍රදේශයෙන් නැවත සොයාගැනීමට අප පර්‍යේෂණ කණ්ඩායමට පුළුවන් වුණා. මේ සම්බන්ධව පර්‍යේෂණ පත්‍රිකාව පල වුණේ බ්‍රිතාන්‍යයේ Kew උද්‍යානයේ නිල සඟරාවක් වන Kew Bulletin කියන සඟරාවේ අද දිනයේ. ඒ ශාකය මුල් වරට වාර්තා වූ 1861 වසරෙන් පසුව අවුරුදු 160කට පසුයි.
මෙම ශාක විශේෂය මුල් වරට Vanda thwaitesii යන නමින් වාර්තා කරන ලද්දේ 1898 දී JD Ho**er විසින් වන අතර ඒ Henry Trimen විසින් රචිත The handbook to the flora of Ceylon හි 4 වෙනි වෙළුම යටතේය.ඒ Haramanis de Alwis විසින් අඳින ලද C.P 3378 අංකය යටතේ ජාතික ශාකාගාරයේම තැම්පත් කර ඇති Illustration දෙකක් පදනම් කරගෙනයි.
ඊට පෙර මෙම ශාකයම 1861 දී Henry Thwaites විසින් Aerides tesellata නමින් මෙම චිත්‍ර පදනම් කරගෙනම නම් කර තිබුණද එම Aerides tesellata යන නම Vanda tesellata වලට ඊට කලින් යොදාගෙන තිබූ නිසා JD Ho**er, Henry Thwaites ගේ නමින් Vanda thwaitesii 1898 දී නැවත නම් කරන ලදී. නව ශාක විශේෂයක් ලෙස නම් කළද කිසිදු නිදර්ශකයක් මෙම ශාක විශේෂය සම්බන්ධයෙන් තැන් පත් කර නොතිබූ අතර 1861 න් පසු 2021 වන තුරුම මෙහි කිසිදු වාර්තාවක් සඳහන් නොවුනු නිසා වඳවූ ශාකයක් ලෙස මූලාශ්‍ර කිහිපයකම සඳහන් කර තිබුණි. කෙසේ වෙතත් 1998 දී ඉන්දියාවෙන් Sathish Kumar සහ Suresh Kumar විසින් මෙම ශාක විශේෂය නැවත සොයාගත් බවට වාර්තා කර අතර එබැවින් ලංකාවෙන් වඳවූ ශාකයක් බවට සැලකූවත් ඉන්දියාවෙන් හමුවන ශාකයක් බවට සලකන ලදී. 2014 වසරේදී ඩේලි මිරර් පුවත්පතේ පල කල ප්‍රවෘත්තියකින් අජන්ත පලිහවඩන මහතා විසින් නැවත මෙය සොයාගත් බවට පළ කල තිබුණද එහි ඡායාරූප සලකන විට (විශේෂයෙන් Lip එක) බොහෝදුරට එය Vanda thwaitesii නොව Vanda teatecea වල දෙමුහුමක් වන බව අප කණ්ඩායමේ මෙන්ම බොහෝ පර්‍යේෂයකයන්ගේ අදහසයි. මෙය විද්‍යාත්මකව පළ කර හෝ කිසිදු නිදර්ශකයක් ශාකාගාරයේ තැන්පත් කර නොමැත. මේ නිසාම 2020 රතු දත්ත වර්ගීකරණය සම්බන්ධ විශේෂඥ කමිටුවේදී යෝජනා වූයේ වසර 150කට වඩා වැඩි කාලයක් වාර්තා නැති නිසා වඳවී ගිය බවට- Extinct ලෙස වර්ගීකරණය කරන ලෙසයි.
තත්වය මෙසේ තිබියදී රන්ගල ප්‍රදේශයේ ප්‍රදීප් කොඩිතුවක්කු මහතා විසින් මා හට පුද්ගලිකව මෙන්ම "ඔසුපැල හඳුනාගනිමු" නම් ෆේස් බුක් සමූහයේ හඳුනාගැනීමට පළකළ එක් ඡායාරූපක් ගැන අප කීපදෙනෙකුගේම අවධානය යොමු වූණා. පැත්තට පළකර තිබූ එම ඡායාරූපය කිසිසේත් හඳුනාගැනීමට ප්‍රමාණවත් නොවුණත් අපේ කුතුහලය නිසාම ඕක ගැන හොයන්න පටන් ගත්තා. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස ප්‍රදීප් මහතා එම ඡායාරූප ගත්ත පැළය (ගඟේ වැටිලා තිබිලා ගෙදර ගෙනල්ලා තිබුණු(2015-16 කාලයේ) ) මාවිසින් නිරීක්ෂණය කරන ලද අතර ඒ වනවිටත් ඔසුපැල සමූහයේ පළවූ ඡායාරූප ය නිසා දිගින් දිගටම ප්‍රදීප් මහතාගෙන්, විශාල මුදල් ප්‍රමාණ වලට එක් එක් පුද්ගලයන් පැලය ඉල්ලා සිටිය නිසා ලංකාවේ ශාක සම්බන්ධව විතැන් සංරක්ෂණයට තමන්ගේ Mandate එකෙන්ම වගකියන ආයතනයවන ජාතික උද්භිද උද්‍යානයේ එකතුවට පැළය ජාතික ශාක ගවේෂණ වැඩ පිළිවෙළ යටතේ ආචාර්‍ය සුභානි රණසිංහ මහත්මියගේ අධීක්ෂණය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල දැනුවත් භාවය සහිතව මා විසින් ගෙන එනු ලැබුවා (පැලේ ආරක්ෂාවට). මම ඔය පැලේ Prof. Siril Wijesundara සර්ටත් ආපු වෙලාවක පෙන්නුවම සර්ත් කීවෙ බොහෝ දුරට මෙය Vanda thwaitesii විය යුතුයි කියලා. ඔන්න ඔය සැකය නිසාම 2020 රතු දත්ත ලැයිස්තුව මුද්‍රණයට යවන්න අවසන් මොහොතේ අපි කතා බහ කරලා EX කියන කාණ්ඩයට ඇතුලත් නොකර 2012 ලිස්‍ට් එකේ CRPE (Possibly Extinct ) කියන කාණ්ඩයේම තිබ්බා. ඉතින් දින සති මාස ගණන් බලන් හිටපු ශාකයේ අන්තිමට අවුරුද්දකට විතර පස්සෙ මල් පිපුණා.යන්තම් මල් 3යි. ඒ වෙනකොට තියෙන එකම ගහ ශාකාගාර නිදර්ශකයකට දැම්මොත් ආයෙත් වඳවුණා තමා (Publication එකකට Specimen නැතිවත් පාඩුයි) ඔය හින්දම ඕකෙ පිපුණු මල් 3න් එකක් හිමේෂ් අයියයි මායි පරිස්සමට කපලා ඔය පර්‍යේෂණ පත්‍රිකාවෙ තියෙන ඡායාරූප ටික ගත්තා සහ එම කොටස් පරිස්සමට FAA (Formaldehyde :Acetic: Alchohol) වල Preserve කරා. ඉතුරු මල් දෙක අපි Manually Pollinate කරලා සහ ඒකෙන් ආපු කරල් උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවෙ Floriculture Unit එකේ Seed Culture කරා ඒකෙදි නියෝජ්‍ය අධ්‍යක්ෂ සේනාරත්න සර්, තරිඳු විජේසුන්දර, ශෙහාන්, පසන් වික්‍රමසිංහ, සහ සවින්ද්‍යා මධුමාලි දායකත්වය දුන්න අවාසනාවට යම් මට්ටමකට පැල ඇවිල්ලත් යම් මට්ටමකට වර්ධනය වෙලත් පැළ ටික බේරගන්න හැකියාවක් ලැබුනෙ නෑ. (ඒ දවස්වල කොවිඩ් වසංගතෙත් දරුණුවට). පස්සෙ ඒ ශාකය මුලින් ප්‍රදීප් අයියට හම්බුණ අවට අපි කරපු ගවේෂණයක ප්‍රථිපලයක් විදිහට ඇටඹ ගහක සහ නා ගහක තව පැල 3-5 අතර සංඛ්‍යාවක් ස්වභාවික පරිසරයෙන් හම්බුණා. ඒ කියන්නෙ ලෝකෙටම ඔය පැල ටිකයි. ගාඩ්න් එකේ පැලෙයි විතරයි තියෙන්නෙ(3-7ත් අතර ගාණක්). ඒ හින්දා හොයන් ගිහින් ගහ වටේට ටික් ටොක් කරන්නයි, ගහට වඳින්නයි, සිවුරු අන්දන්නයි වගේ වැඩ කරන්නෙපා. ඉදිරි සංරක්ෂණ කටයුතු අදාල ආයතන කරලා යම් පැල ප්‍රමාණයක් හදාගන්නකන්.
තව දෙයක් අමතක වුණා ඉන්දියාවේ සතිෂ් කුමාර් ,සුරේෂ් කුමාර් දෙපලට හම්බුණ Vanda thwaitesii කියන විශේෂය 2021දි Martin Motes විසින් එය නැවත සොයාගත්ත Prof. Sathish Kumar මහතාගේ නමින් Vanda sathishii ලෙස වෙනස් විශේෂයක් ලෙස නම් කරපු නිසා Vanda thwaitesii නැවත ආවේණික වඳවූ ශාකයක් බවට පත්වුණා. අපේ පර්‍යේෂණ පත්‍රිකාව පිළියෙල කරන අතර අපි මහාචාර්‍ය. සතිෂ් කුමාර් මහතා සහ ආචාර්‍ය මාටින් මෝටිස් දෙන්නවම සම්බන්ධ කරගෙන ඔවුන්ගෙත් අදහස් ලබාගත්තා. ඔවුන් ඉතාම සතුටින් නොපැකිළව අපිට තොරතුරු සියල්ල ලබා දුන්නා. ඒ නිසාම Vanda sathishii සහ Vanda thwaitesii විශේෂ දෙකක් බවට සහතික කරගන්න අවස්ථාව ලැබුණා. ඒ නිසාම Vanda thwaitesii ආවේණික විශේෂයක් බවට නැවත ස්ථාපිත වෙනවා වගේම Ho**er ගෙ Description එකේ Type Specimen එකක් සඳහන් නොවන නිසා CP 3378 යටතේ තිබ්බ එක Drawing, දෙකෙන් එකක් Holotype එක විදිහට Designate කරන එකත් මේ පර්‍යේෂණයෙන්ම සිදු කරා. ඉතින් මේ පර්‍යේෂණය කරගෙන අතර ජාතික ශාකාගාරයේ සුභානි රණසිංහ මැඩම් වගේම මාදොල මල්ලිගෙයි මගෙයි දැන් Supervisor මහාචාර්ය දීප්ති යකන්දාවල මැඩම් අපේ පිටිපස්සෙන් හිටියා ක්ෂේත්‍ර කටයුතු වගේම පර්‍යේෂණ පත්‍රිකාව පිළියෙල කරද්දිත්. තව ඉතින් යමු කීවොත් අපායට හරි යන්න එන Dr. හිමේෂ් අයියා සහ මගෙ Labmate ඉන්ද්‍රකීල මාදොල මල්ලි කැලේ දිග ඇලවල් දිග බඩගාන්න ආවා විතරක් නෙවේ ලස්සනට Drawing එකයි Map එකයි හදන්නත් දායක වුණා. ඉතින් ඔය හැමෝගෙම එකවගේ දායකත්වයකින් තමා මේ වැඩේ මේ විදිහට එලියට එන්නෙ. මේක කුඩා පැලයක් සහ සහ අලංකාර මල් නිසා විසිතුරු විශේෂයක් ලෙස ලොකු විභවයක් තියෙන ශාකයක් ඒ නිසා රටට ලොකු වාණිජ වටිනාකමක් තියෙනවා. මෙච්චර හෑල්ලක් නොලියා බෑ උදව් කරපු හැමෝවම සඳහන් කරන්න.උදව් කරපු වගේම අකුල් හෙලපු අයටත් බොහොම ස්තුතියි(කවුද කියලා හදවත දන්නවා ඇතිනෙ).මීටත් අමතරව ශාක ගවේෂණ වැඩසටහනට මූල්‍ය අනුග්‍රහය දුන්න Botanic Gardens Trust Fund එකට, එවකට ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවෙ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්‍ය ශෙලෝමි ක්‍රිෂ්ණරාජා මෙනවිය, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පර්‍යේෂණ ආචාර්‍ය Achala Attanayake මහත්මිය, පැලේ පරිස්සමට දැනටත් බලාගන්න වනෝද්‍යාන පැල තවානෙ වීරසිංහ අයියා සහ ගෝලයෝ පිරිස, සහ ජාතික ශාකාගාරයේ කාර්‍යමණ්ඩලය වගේම අන්තිමට අපි පැලේ බලන්න, කැලේ රිංගන්න ගිය හැම දවසකම තමන්ගෙ ගෙදර වැඩ පවා පාළු කරගෙන කන්න බොන්න දීලා අපි පස්සෙන් ආපු ප්‍රදීප් අයියට විශේෂම ස්තුතිය.
සටහන: භාතිය ගොපල්ලව මහතා.
✒ Research team: භාතිය ගොපල්ලව, ඉන්ද්‍රඛීල මාදොල, Dr. හිමේෂ් ජයසිංහ, Prof.දීප්ති යකන්දාවල, Dr. සුභානි රණසිංහ.
🔗 DOI: 10.1007/s12225-025-10280-1
📰 Issue: Royal Botanic Gardens, Kew, 2025
📅 Published: 10 July 2025
♡ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
#පරිසර_සමාගම