02/11/2025
3 Idiots කියන්නේ මං වැඩිම පාරක් නරඹලා තියන චිත්‍රපටය..
ඒ හැම වතාවකදී ම මං කැමති ම දර්ශනය වුණේ, සයිලන්සර් සහ යාළුවෝ ටික රැන්චෝව හොයාගෙන ගිහින් කතා කරන අවසාන දර්ශනය..
මේ ගමන යන චතුර් නැත්නම් සයිලන්සර්ගේ උවමනාව වෙන්නේ ජීවිතය තුළදී තමන් රැන්චෝව පරාද කරපු බව පෙන්නන එක..
ඒකට ඔහු පාවිච්චි කරන්නේ තමන්ගේ තනතුරු, ධනය, වාහන වගේ දේවල්..
ඇත්තම කිව්වොත් ඒක සයිලන්සර් හිතන දෙයක් විතරක් නෙමෙයි..
ඒක තමයි මේ ලෝකේ විදිහ..
තනතුරු වලින්,
ධනයෙන්,
යාන වාහන වලින් සාර්ථකත්වය මනින එක තමයි ලෝකයේ ක්‍රමය..
ඒත් රැන්චෝ කියන්නේ ඒ සාමාන්‍ය ක්‍රමයෙන් ඈතට ගිය මනුස්සයෙක්..
සයිලන්සර් අවුරුදු ගානක් රැන්චෝව පරාද කරන්න හිතාගෙන තරඟෙට දුවද්දි රැන්චෝ හිටියේ නැවතිලා..
මොකද ඔහු ගියේ ලෝකෙට ඕන කරන ගමනක් නෙමෙයි..
ඔහු ගියේ ඔහුට ඕන කරන ගමන..!
ලෝකය එක්ක නොගැටී,
ඈත ඉඳන් ලෝකය දිහා බලන් ඉඳපු රැන්චෝට ලෝකය එක්ක තරඟයක් තිබුණේ නෑ..
ඒත් ජීවිතේ පුරාවට ම තව එකෙක්ව පහුකරන්න හිතාගෙන දුවපු සයිලන්සර්ට කවදාවත් නිදහසක් තිබුණේ නෑ..
එකෙක්ව පහු කරලා හුස්මක් ගන්නත් කලින්, තමන්ට ඉස්සරහින් දුවන තවත් එකෙක් පේන නිසා සයිලන්සර් හැමදාමත් කරේ දුවපු එක..
ඒ දුවන අතරෙම ලෝකෙට කෑ ගහලා තමන් පහු කරපු තැන් ගැන කියපු එක..
ඒත් වෙනත් පාරක,
වෙනත් ගමනාන්තයකට යන මිනිහෙකුට තමන් පහු කරපු පාරවල්, හංදිවලින් සත පහක වැඩක් නෑ කියලා ඔහු කවදාවත් තේරුම් ගත්තේ නෑ..
ලෝකෙට පේන්න දුවන බොහෝ දෙනෙකුත් ඒ ඇත්ත කවදාවත් තේරුම් ගන්නේ නෑ..
ඉතින් අන්තිමට සයිලන්සර් තමන් ලබාගත්ත දේවල් ගැන කියලා ජය සමරද්දි,
ඊට වඩා ගව් ගානක් උඩින් හිටපු රැන්චෝ සරලව හිනාවෙනවා..
මං ඔබට යෝජනා කරන්නේ පුළුවන් නම් ටිකකට හරි නවතින්න..
ලෝකයේ අනිත් උන් කරන හැමදේම අපි කරන්න ඕන නෑ..
තමන් සාර්ථක බව ලෝකයට පෙන්නන්න විඳින දුකෙන් ටිකකට මිදිලා බලන්න..
ඔබ ඉදිරියේ රඟදක්වන නාටකයේ කොටසක් නොවී, නරඹන්නෙක් වෙලා බලන්න..
ඒක තමයි නියම නිදහස..!
3 Idiots චිත්‍රපටයේ මේ අවසාන දර්ශනය බලන හැම වතාවක ම මටත් ඕන වෙන්නේ,
මේ නාඩගම් නටන,
එකෙක්ගේ මළකඳ උඩින් දුවලා හරි දිනන්න ම හදන,
දිනුම කියලා කොහෙවත් නැති භෞතික සාධක ටිකකට වැඳගෙන ඉන්න ලෝකෙන් ඈතට යන්න..
ඈත ඉඳන් රැන්චෝ වගේ සරලව හිනාවෙන්න..
මොකද ඇත්තටම අපි ජීවත් වෙන්න පටන් ගන්නේ,
අන්න ඒ නවතින දවසට..!
Copied