22/02/2026
ඇවන්ගාඩ් සමාගමෙන් නාවික හමුදාවට කෝටි 78ක පොල්ලක්’ පුවත සාවද්‍යයි - ඇවන්ගාඩ් සමාගමෙන් පැහැදිලි කිරීමක්
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් කළ ප්‍රකාශයක් මත ඉකුත් 18 වැනිදා පළ වූ ‘ඇවන්ගාඩ් සමාගමෙන් නාවික හමුදාවට කෝටි 78ක පොල්ලක්’ මැයෙන් වූ පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය හා කරුණු වසන් කරමින් නිර්මාණය කළ එකක් බව ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා ලිඛිතව පවසයි.
2015 නොවැම්බර් 13 වැනිදා නාවික හමුදාව විසින් ඇවන්ගාඩ් සහ රක්නා ලංකා සමාගම් පවත්වාගෙන ගිය සමුද්‍ර ආරක්ෂක ව්‍යාපෘතිය නීතිවිරෝධීව පවරා ගැනීම හේතුවෙන් සමාගමට විදේශවලින් ලැබිය යුතු රුපියල් කෝටි 34ක් අහිමි වූ අතර, නාවික හමුදාවට ගෙවීම් කිරීම ද අසීරු විය. මේ නිසා සමාගම නාවික හමුදාවට එරෙහිව රු. බිලියන 7.4ක (බිලියන 2.4 සහ 5) වන්දි ඉල්ලා නඩු පැවරූ අතර, නීතිපතිවරයා නාවික හමුදාව වෙනුවෙන් රු. කෝටි 78ක මුදල අයකර ගැනීමේ නඩුවක් පැවරුවේ මේ පසුබිම තුළය.
පසුව එවකට ජනාධිපතිවරයා පත් කළ කමිටුවකින් හෙළි වූයේ නාවික හමුදාවේ මෙම ක්‍රියාව නිසා සමාගම්වලට රු. බිලියන 6.2ක පාඩුවක් සහ රටට ඩොලර් මිලියන 41ක විදේශ විනිමයක් අහිමි වී ඇති බවයි. නාවික හමුදාවට මෙය වාණිජව කළ නොහැකි බව එවකට හිටපු හමුදාපතිවරයාද පිළිගත් අතර, ව්‍යාපෘතිය යළි එම සමාගම් වෙතම පැවරීමට කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් විය.
පසුව සභාපතිවරයා ඇතුළු පිරිස චෝදනා 7573කින්ම නිදොස් කොට නිදහස් වූ පසු, නීතිපති උපදෙස් මත මෙම නඩු කටයුතු සමථයකට පත් කෙරිණි. එහිදී ඇවන්ගාඩ් සමාගම රජයේ නිලධාරීන්ට නඩු නොපවරන බවට සහ වන්දි ඉල්ලීම අත්හරින බවට දිවුරුම් ප්‍රකාශ ලබා දෙමින් තම නඩු ඉවත් කරගත්තද, නාවික හමුදාව එකඟතාව කඩ කරමින් අදාළ රු. කෝටි 78 නඩුව තවදුරටත් පවත්වාගෙන යයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා සත්‍යය වසන් කර ඇත්තේ නීතිපතිවරයාගේ මෙම සමථ ලිපි හා කරුණු පැහැදිලි කිරීම් ද දැන දැනම සඟවාගනිමින් බව සේනාධිපති මහතා තවදුරටත් අවධාරණය කරයි.