26/06/2026
කාලෙකින් හදිස්සියේම අභීගේ අමතක වෙලා තිබුණ සිංදුවක් ළඟදි ඇහුවා... ඒකේ කොටසක් tiktok එකේ දැකලා මුළු එකම ආයෙත් ඇහුවා... ඒ වචන භාවනාවක්..
අප හමු නොවුණා නම්
මේ තරම් දුකින්
නොඉන්න තිබුණා
කඳුළු නැතිව හිනාවෙලා
හිඳින්න තිබුණා
ඇත්තටම මිනිස්සුන්ට ජීවිතයේ කොච්චර නම් හමුවීම් තියෙනවද ඒ කෙනා කිසිම දවසක ඇස් ඉස්සරහට නාවනම් හිතෙන.. ජීවිත කාලෙටම දුකක් වේදනාවක් ඉතිරි කරපු එහෙම බැඳීම් නොතිබුණානම් මතක් වෙන වාරයක් ගානේ වේදනා නොවිඳ හිනා වෙලා හොඳින් ඉන්න තිබුණා නේද හිතෙන වෙලාවක් එනවා...
යාළුකමට එහා ගිහිං අපිට ආදරේ හිතුණම
මගේ කනට කොඳුරා නොකියන්නම තිබුණා
කැමති උනත් මට අකමැති වෙන්නම තිබුණා
ඒ බැඳීම නන්නාදුන කෙනෙක් එක්ක වුණානම් කාලය එක්ක අමතක කරලා කොහොම හරි හිත හදාගන්න තිබුණා ... ඒත් ඒ කෙනා හොඳම යාළුවෙක් නම්... අපිට ආදරේ විතරක් නෙවෙයි යාළුකමත් නැතිවෙනවා...එහෙම වෙලාවට ආදරේ කිව්වේ ඇයි කියන පසුතැවීම අපිට ඉතුරු වෙන්නෙ...ඒ නිසාම තමයි හුඟක් වෙලාවට හොඳම යාළුවෙක් ට ආදරය හිතුණාත් අපි ඒක හිතේම තියාගෙන ඉන්නේ... මොකද අපිට සමහර වෙලාවට ආදරය ට වඩා ඒ යාළුකම වටිනවා...
හිනාවෙච්ච ඇස් පිහාටු
කඳුළු එක්ක ගොළු උණාම
හිත හදන්නවත් ඔබ ළඟ ඉන්නට තිබුණා
රිදුණු හිතට තවත් දුකම නොදෙන්න තිබුණා
ඉස්සර යාළුවෝ වගේ ඉද්දි නිතරම හිනා වුණු ඇස්... ඒ හිනාවට හේතුවුණ ඇස් ඉස්සරහම කදුළින් බොඳවෙන්න ගත්තාම... ඉස්සර තොර තෝංචියක් නැතුව කියවපු කෙනා ඉස්සරහම දැන් ගොළු වෙද්දී හිතට දැනෙන ඒ හිස් බව... ඉස්සර වක්කඩේ කැඩුවා වගේ ගලාගෙන ආව වචන වෙනුවට කියාගන්න බැරි වේදනාවකින් උඟුර හිර වෙද්දී ... හැමෝටම වඩා හිතේ තිබුණ වේදනාව අතීතයේ විඳපු වේදනා දන්න කෙනාම...ඒ වේදනා ඒ තුවාල සුවපත් කරයි හිතපු කෙනාම අවසානේ ඊටත් වඩා වේදනාවක් උරුම කරාම.... මේ හමුවීම සිදුනොව්නානම් කියලා විතරක් ම හිතෙනවා...
අප හමු නොවුණා නම්
මේ තරම් දුකින්
නොඉන්න තිබුණා
කඳුළු නැතිව හිනාවෙලා
හිඳින්න තිබුණා
අභීගේ Abhisheka Wimalaweera වචනවලට පණ තියෙනවා... මේකත් ඒ වගේ හිත හිරිවැටෙන ගීතයක්...
-යශෝධා හීන්කෙන්ද-