19/02/2025
ඵෙතිහාසික රිටිගල සංචාරය
Travel With Music Ritigala
මෙහි පසුබිම් සංගීතය රිටිගල භූමියේ සිට මා නිර්මානය කරන ලද්දකි. සංගීත නිර්මාන ශිල්පියකු ලෙස මේ නිර්මානයෙන් මා ලද ආනන්දය ගැන විග්‍රහ කිරීමට මා සතුව වචන නැත.
පද රචනය අකිල රොද්‍රිගෝ
කැමරා සහය බුද්ධික උදයංග
රිටිගලරමණීය කඳු වැටියක පරිවාර කඳු හතකින් වට වූ ඵෙතිහාසික වශයෙන් මෙන්ම පාරිසරික වශයෙනුත් ශ්‍රී ලාංකිකයන්ට වැදගත් වන ස්වභාව සෞන්දර්යයෙන් අනූන ස්ථානයකි "අරිට්ඨ පබ්බත" හෙවත් "රිටිගල" කන්ද. මහාවංසය ආදි පුරාතන ඵෙතිහාසික ග්‍රන්ථයන්හි 'අරිට්ඨ පබ්බත' නමින්ද , ජනප්‍රවාදයන්හි 'රැකවරණ කන්ද' හා 'භයංකර කන්ද' නමින්ද හඳුන්වනු ලැබූ රිටිගල කන්ද හා සම්බන්ධ ජනශ්‍රැති හා ජනප්‍රවාදයන් රැසකි. මහාවංසයට අනුව රිටිගල කන්ද ' අරිට්ඨ පබ්බත' යි.අරිට්ඨ පබ්බත යන්නෙන් අර්ථවත් වන්නේ ආරක්ෂිත පව්ව යන්නය.ක්‍රි.පූ. 3 වන සියවසේ ලක්දිව වැඩ විසූ පළමුවන මහ රහතන් වහන්සේ වූ අරිට්ඨ මහ රහතන් වහන්සේ නමින් මේ කන්ද හැදින්වූ බව ජනප්‍රවාදයන්හි සදහන් වේ.අරිට්ඨ මහ රහතන් වහන්සේ යනු දේවානම්පියතිස්ස රජුගේ බෑනණුවන්ය. ඉතිහාසගත මහ නර විරුවන් කිහිපදෙනකුට රැකවරණය සැලසූ පර්වතය යන අරුතින් මෙය 'රැකවරණ කන්ද' නමින් හැදින්වූ බවට ජනප්‍රවාද සාක්ෂි දරයි. ලංකාවේ පළමු සිංහල නරපතියා ලෙස සැලකෙන පණ්ඩුකාභය කුමරු තමන්ට එරෙහි වූ මාමාවරුන් සමඟ යුධ වැදීමට සේනා සංවිධානය කළේද රිටිගල කඳුයායේදීය.
දුටුගැමුණු රජතුමා එළාරට එරෙහිව යුධ සේනා සංවිධානය කිරීමේදි රිටිගල කන්ද රැකවරණය ස්ථානය ලෙස යොදාගත් බවද සදහන් වේ.රිටිගල කන්ද හා සම්බන්ධ රසවත් ජනප්‍රවාදයන් ද පවතී. රිටිගල වනපෙතට නායක වූ යක්ෂ ගෝත්‍රික රිටිගල ජයසේන මහසෝනා බවට පත්වී ඇත්තේද මෙම රිටිගල කන්දේදීය. දුටුගැමුණු රජුගේ දසමහ යෝධයන්ගෙන් කෙනෙකු වූ ගෝඨයිම්බරට ජයසේන නම් යහළුවෙක් විය. දිනක් ජයසේන කළ නොහොබිනා විහිළුවක් නිසා කෝපයට පත් ගෝඨයිම්බර ජයසේන සමඟ සටනට එළඹිණි. සටනේදී ගෝඨයිම්බරගේ පහරකින් ජයසේනගේ හිස කඳින් වෙන්වී ගියේය. ජයසේනගේ මිතුරු සෙනසුරු මේ විපත අසා එතැනට දිව ආවේය. ඒ වන විටත් කවන්ධයේ ප්‍රාණය රැදී තිබෙන බව දුටු සෙනසුරුට ජයසේනගේ හිස සොයාගත නොහැකි වූ අතර ඔහු වලසෙකුගේ හිසක් කපා ජයසේනට බද්ධ කළේලු. කළබලයට සෙනසුරු වලස් හිස බද්ධ කොට තිබුණේ මුහුණ පිටුපසට සිටින ලෙස ලු. ජයසේන මහසෝනා බවට පත්වී ඇත්තේ එළෙසිණි. අදත් මහසෝනාගේ රූපය අඹන විට හිස පිටුපසට සිටින සේ අඹනු ලැබේ.
මේ අතර වරින් වර විසූ සිංහල රජවරුන් රිටිගල පරිසරයේ පූජනීය ස්ථාන ඉදිකොට තිබේ. ලජ්ජතිස්ස රජු විසින් ක්‍රි.පූ.59-50 වැන්නේදී අරිට්ඨ විහාරයද, සූරතිස්ස රජු විසින් ක්‍රි.පූ 187-177 දී රිටිගල පාමුල ලංකා විහාරයද, පළමුවන සේන රජු විසින් භික්ෂුන් වහන්සේ සදහා ආරාමයක් ද ඉදිකරන ලද බව ඵෙතිහාසික තොරතුරු අනාවරණ කරයි. එමෙන්ම ලක්දිව ප්‍රථම මහ රහතන්වහන්සේ වන අරිට්ඨ මාහිමියන් ඇතුළු 500ක් සංඝ රත්නය රිටිගල ආරණ්‍යවාසීව විසූ බව මහාවංසයේ සදහන් වේ.
කටාරම් කොටන ලද ගල්ලෙන් 74 ක්ද , බ්‍රාහ්මී අක්ෂර වලින් ලියන ලද ශිලා ලේඛන 152 ක්ද, ඵෙතිහාසික වටිනාකම් ඇති ගොඩනැගිලි 140 ක පමණ නටඹුන්ද, පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත අති පැරැණි ආයුර්වේද රෝහලක නටඹුන්ද මෙම රිටිගල භූමියේ අදටත් ඉතිරිව තිබේ.
මෙහි අදත් දක්නට ඇති සුවිශේෂීම නිර්මාණය වන්නේ ශෛලමය "බන්දා පොකුණ"යි. ගලින් ගල ළංකොට බැඳ සකසා ඇති බැවින් එය බන්දා පොකුණ නම් වීලු. ගස් වලින් සෙවන වූ හිරු එළිය බිඳකුදු මිහිමතට පතිත නොවන සේ සෑදුණු තුරු වියන යටින් ඇති බන්දා පොකුණ වර්තමානයේ පවතින නටඹුන් තත්ත්වය යටතේ පවා අතිශය සිත්ගන්නා සුළු වෙයි. දකුණු ආසියාවේ පවත්නා අති විශාලතම ශෛලමය පොකුණ ලෙස පුරාවිද්‍යාඥයන් විසින් මෙම බන්දා පොකුණ හදුනාගෙන තිබේ. මීට අමතරව ගල්පාලම්, පියගැටපේළී, කවාකාර ශෛලමය වේදිකා, ඔපදැමූ ගල් පුවරු, ශෛලමය පහණ, තටාක, බෙහෙත් ඔරු, සළපතල මළු, විවේකාගාර ආදී ශෛලමය නිර්මාණ තුළ ගැබ්ව ඇත්තේ අපේ අතීත නිර්මාණ කෞෂල්‍යය යි.රිටිගල කන්ද වැදගත් වන්නේ ඉහත සදහන් පුරාවිද්‍යාත්මක හා ඵෙතිහාසික සාධක නිසා පමණක් නොවේ. රිටිගල කන්ද ජෛව විවිධත්ව පාරාදීසයකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම කදු වැටිය තුළ එකිනෙකට වෙනස් වූ පරිසර පද්ධතීන් තුනක් පැවතීමය. එනම්, වියලි, මිශ්‍ර සදාහරිත වනානතරමය ලක්ෂණ,
තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ හා කඳුකර කලාපීය වනාන්තර ලක්ෂණ මෙන්ම එම පරිසර පද්ධතීන් වල වැවෙන මහා වනස්පතියේ සිට කුඩා පැලෑටිය දක්වාම වු වෘක්ෂලතාදියෙන් මෙම භූමිය වැසී තිබිමය. තුරුගොමු හා ලියගොමු වලින් පිරී පවතින්නා වූ මේ සොඳුරු වන පියසේ තිබෙන අඩි 50 ක් පමණ උස "වන මී" ගස ශ්‍රීලංකාවේ අන් කිසිදු තැනකින් සොයාගත නොහැකි දුර්ලභ ගණයේ වෘක්ෂයකි. දසත විහිදුණු අතුපතර ඇති මෙම රූක්ෂ ගසෙහි කඳ පළුදු කළ විට රුධිරය වැනි රතු පැහැති දියරයක් වැගිරෙයි. මෙය දියවැඩියා රෝගයට මහඟු ඖෂධයක් බව කියවේ. මෙහි මල්මී සොයමින් යනෙන සමනලුන්ගේ දර්ශනය අතිශය චමත්කාරජනකය. මෙහි ඇති "වෙම්බඩංගා" නම් වැල් විශේෂය දැවැන්ත නයින් පිඹුරන් මෙන් රූස්ස ගස් වෙලාගෙන සිටින අයුරු දැකීම බියක් මෙන්ම සුන්දරත්වයක්ද දනවයි. රිටිගල කන්ද ඖෂධ පැලෑටි වලින් ගහන ස්ථානයක් ද වේ. මේ හා සම්බන්ධ අපූරු ජනප්‍රවාදයක්ද පවතී.ලංකාවේ රාවනා රජු සමඟ සටනට පැමිණි රාම රජුගේ සොහොයුරු ලක්ෂ්මන හදිසියේ තුවාල ලැබීය. රාම රජු හිමාලයෙන් ඹෟෂධ පැලෑටි ගෙනෙන්නට හනුමන්ව පිටත් කළ අතර ඉංදියාවට යන අතරතුර ඔහුට ඹෟෂධ පැලෑටි වල නම් අමතක වූයෙන් ඔහු හිමාලයේ ඖෂධ උයනෙන් කොටසක් උදුරා ගෙන ලංකාවට ගෙනැවිත් රිටිගල කන්දට අතහැරියේලු. අදටත් රිටිගල කන්දේ පැතිරි තිබෙන්නේ එම ඖෂධ පැලෑටිලු. "සන්සෙව්" නමින් හදුන්වන රිටිගල කදු මුදුනේ ඇති ඹෟෂධීය පැලෑටිය මිනිසුන්ගේ සියලු වේදනාවන්ට සුවය ලබා දෙන බවට විශ්වාස කෙරේ. දුර්ලභ වූ ජෛව විවිධත්වයක් ඇති රිටිගල රක්ෂිතයේ ශාක විශේෂ 337 ක් පමණ තිබේ. ඒවායින් 57 ක් ශ්‍රීලංකාවට පමණක් ආවේණික වූ ශාකයන් වේ. එමෙන්ම රිටිගලටම ආවේණික වූ ශාක විශේෂ 5 ක් තිබේ.රිටිගල තම්බජියා, කප්පර වල්ලිය, නෙලු, උන, මී යනු එම ආවේණික ශාක වර්ග වේ.මුහුදු මට්ටමේ සිට මීටර් 766 ක් උසින් පිහිටි රිටිගල කඳු ශිඛරය මතට නැග අවට නරඹන්නන් හට මිහින්තලය, රුවන්වැලිසෑය ආදී අනුරාධපුර පුදබිමේ පූජනීය ස්ථාන ද මින්නේරිය, ගිරිතලේ වැව් ද දිස්වේ. චෝල ආක්‍රමණ හේතුවෙන් ආරණ්‍ය සේනාසනය විනාශ වී යාමෙන් පසු මිනිස් පාදස්පර්ශයෙන් තොරව මහාමූකලානක් බවට පත් වූ රිටිගල 1872 දී මාර්ක් ටේල් නමැති පුරාවිද්‍යාඥයා විසින් කමගින් ලෝකයට නිරාවරණය කරන ලදි.රිටිගල ජාතික සම්පතක් ලෙස සංරක්ෂණය කිරීමේ වටිනාකම වටහා ගත් එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ රාජා ද සිල්වා මහතා 1941.11.07 දරණ රජයේ ගැසට් නිවේදනය මගින් රිටිගල කන්දේ වර්ග කිලෝමීටර් 5.28 ක භූමි ප්‍රදේශයක් දැඩි ආරක්ෂිතයි කලාපයක් බවට ප්‍රකාශයට පත් කරන ලදි.