08/06/2026
පාස්කු ඉරිදා බෝම්බය කියන්නේ සැලැස්මක්. ඒක ගොඩක් දෙනෙක් දැනගෙන ඉඳපු පහර දීමක්. මේක එහෙම ලේසියෙන් අතාරින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇයි එහෙම කියන්නේ?
2019 අප්‍රේල් 21 වනදා පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වුණත් මේ ප්‍රහාරයට අවශ්‍ය වපසරිය හැදෙන්නේ 2010 වගේ ඉඳලා. මේ ටික බැලුවම ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන්.
2006 දී තමයි සහරාන් හෂීම් කියන පුද්ගලයා ධරුල් අදර් කියන සංවිධානය පිහිටුවාගන්නේ. ඔහු එතැන ඉඳලා අන්thaවාදය වපුරවන්න පටන් ගන්නෙත් මේ සංවිධානය ඔස්සේ.
මේ සංවිධානය ඇතුළේ වුණ ප්‍රශ්න නිසා 2010 හෝ ඒ ආසන්න කාලයක සහරාන් තවුහිත් ජමාත් සංවිධානයත් එක්ක එළියට එන්නේ. මොකද ඒ වෙද්දී අන්thaවාදී මත පැතිරවීමේ කාරණා නිසාම ඔහුව ධරුල් අදර් සංවිධානයෙන් නෙරපලා තිබුණා.
විශේෂයෙන්ම අලුත්ගම සිද්ධ වෙච්ච කෝලහලය වගේ සිද්ධීන් නිසා තමන්ගේ අදහස් තරුණයන්ගේ සිත් ඇතුලට කාවදන්න සහරාන්ට හැකියාව ලැබුණා. 2017 මහනුවර බුදු පිළිම සිද්ධිය කියන්නෙත් මෙතනින් එකක්. මේ කාලයේ දී ඔවුන්ට රාජ්‍යය අනුග්‍රහය ලැබීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන පාස්කු ඉරිදා නඩුවේ ගැඹුරින් සාකච්ඡාවට ලක් වෙනවා.
මේ පහළින් තියෙන්නේ පාස්කු ඉරිදා බෝම්බයේ Timeline එක ගැලපෙන විදිහ
2011 දී තමයි පළමු අනතුරු ඇඟවීම සිදු වෙන්නේ. මේක අන්thaවාදී කල්ලියක නැගී සිටීම පිළිබඳ තොරතුරක්. නමුත් ඒක ගනන් ගන්නේ නෑ.
2013 දී අනෙක් ආගම් අවඥාවට ලක් කරන තවුහීද් සඟරාවක් පිට වෙනවා.
2013/14 දී තවුහීද් ජමාත් නැමති අන්තවාදී සංවිධානයක් පවතින බවට තොරතුරු ලැබෙනවා.(ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් ගේ සාක්ෂිය)
2013/14 දී වෙන්ව ගිය තවුහීද් ජමාත් සංවිධානය ඇතුළු අන්තවාදී කොටස් කරන තර්ජන පිළිබදව එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව දැනුවත් කරනවා. නමුත් වැඩක් වෙන්නේ නෑ.
2013/14 - නැවතත් ශ්‍රී ලංකා ජෙමයතුල් උලමා සංවිධානය මුස්ලිම් අන්තවාදය ගැන එවකට රජය දැනුවත් කරනවා. නමුත් ගණන් ගන්නේ නෑ.
2013/14 දී හිරා පදනම හා බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් (ශරියා විශ්වවිද්‍යාලය) ස්ථාපිත කරනවා (හිස්බුල්ලාගේ සාක්ෂිය)
2015 දී කාත්තන්කුඩියේ සුෆි මුස්ලිම්වරුන්ට එරෙහිව සෑහෙන අඩන්තේට්ටම් වෙනවා. මේ ගැන දැනුම් දෙනවා.
2015 අගෝස්තු - පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරය අතරතුරදි හිස්බුල්ලා සහ සහරාන් ගිවිසුමක් අත්සන් කරනවා.
2015 ඔක්තෝබර් 6 - එදා තමයි ජාතික ආරක්ෂක කවුන්සිලයේදී සහරාන් හෂීම් කියන පුද්ගලයා සම්බන්ධයෙන් මුල් වරට කතා වෙන්නේ.
2016 දී තමන් සහරාන් පිළිබදව ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට දැනුම් දුන් බවට අබ්දුල් රාසික් සාක්කි දෙනවා.
2016 දෙසැම්බර් වල සහරාන් කතෝලිකයන්ට එරෙහිව දේශන පවත්වනවා. නමුත් ඒ වෙද්දී රජයවත්, බුද්ධි අංශවත්, වගකිවයුතු බලධාරීන්වත් ඔහු සහ ඔහුගේ කල්ලියේ නැගී සිටීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නෑ.
2016/17 කාලයේදී සහරාන්ට එරෙහිව සුෆි මුස්ලිම්වරුන් පැමිණිලි කරනවා.
2017 මාර්තු වලදී සුෆි මුස්ලිම්වරුන් සමග කාන්තන්කුඩි අර්බුදය උච්චතම තැනකට එනවා. ගැටුමක් හට ගන්නවා. ගැටුම්වලින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තත් සහරාන්, සොහොයුරු රිල්වාන්, සහ ආමි මොහිදීන් පලා යනවා.
2017 මාර්තු 27 - අනෙකුත් ආගම්වල වැසියන් ඝාතනය කිරීමට සහරාන් තමන්ගෙන් සිදුකළ ඉල්ලීමට එරෙහිව තමන් ජනාධිපති කාර්යාලයට පැමිණිලි කල බව සුෆි මවුලවිවරයෙක් වන කේ ආර් එම් සාහ්ලාන් ප්‍රකාශ කරනවා. තාම ගණන් ගන්නේ නෑ.
2017 ජූනි 7 ජාතික තවුහීද් ජමාත් තහනම් කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ නි.පොලිස්පති නාලක ද සිල්වා නිර්දේශ කරන්නට කටයුතු කළා.
2017 වර්ෂයේදීම සහරාන්ගේ අන්තවාදී දේශන අඩංගු සී ඩී තැටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබීම. තවමත් සහරාන් ඉන්නේ පැනලා ගිහින්.
2018 සහරාන් හෂීම්ගේ හැසිරීම පිළිබදව නැවත ජාතික ආරක්ෂක කවුන්සිලය දැනුවත් කෙරනවා.
2018 පෙබරවාරි 26 - මාර්තු 10 - දිගන මුස්ලිම් විරෝධී කෝලාහලය.
2018 මැයි මාවනැල්ලේ බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධිය. මේකට සහරාන් සම්බන්ධ බවට දැනගන්නේ 2019 ජනවාරි 26 වනදා.
2018 ජූලි වලදී සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු මෙන්ම ජාත්‍යන්තර පොලීසියේ නිල් නිවේදනයක් ලබා ගැනීම. නමුත් ඔහුව සොයාගන්නට නෑ.
(දැන් යන නඩුවේ සඳහන් වන කාරණා වලට අනුව මේ කාලයේදී තමයි සහරාන් හෂීම්ගේ ගෝලයෙක්ව මඩකලපුවේ බන්ධනාගාරයේදී පිල්ලෙයාන්ට හමු වෙන්නේ. පාස්කු ඉරුදින බෝම්බය සහ ඉතිරි සැලසුම් මෙතනදී හැදෙන්න ගත්තා කියලා තියෙනවා. තවමත් මේවා ඔප්පු නොවුණ කාරණා.)
2018 ඔක්තෝබර් 7 එවකට අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගී වූ අවසන් ආරක්ෂක මණ්ඩල රැස්වීම පැවැත්වුණා.
2018 ඔක්තෝබර් 26 කූප්‍රකට ව්‍යවස්ථා අර්බුධය සිදු වීම. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඝාතන කුමන්ත්‍රණයක් ඇති බව හෙලි වීමත්, ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මහින්ද රාජපක්ෂව අගමැති ධූරයට පත් කිරීමත් සිදු වනවා.
2018 ඔක්තෝබර් 30 හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම් බවට පත් කිරීම
2018 නොවැම්බර් 30 මඩකලපුවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ව අභිරහස් විදිහට ගෙල කපා ඝාතනය කිරීම.
2019 ජනවාරි 17 වනාතවිල්ලුවේදී පුද්ගලයන් 4 දෙනෙක් පුපුරණ ද්‍රව්‍ය හා ඩෙටනේටර් සමග අත්අඩංගුවට ගැනීම. දැන් සිද්ධිය සෑහෙන දුරකට ඉදිරියට ගමන් කරනවා. නමුත් ආරක්ෂක මණ්ඩයලය නිදි.
2019 මාර්තු සහරාන් ප්‍රාඩෝ වර්ගයේ වාහනයකින් ගමන් කරමින් අක්කරෙයිපත්තුවේ දේශන පවත්වන බවට තොරතුරු ලැබීම. ඔහුව අත්අඩංගුවට ගන්න වරෙන්තු තියෙනවා. ජාත්‍යන්තර රතු නිවේදන තියෙනවා. නමුත් කිසි දෙයක් වෙන්නේ නෑ.
2019 අප්‍රේල් 04 සිදුවිය හැකි ප්‍රහාරය සම්බන්ධව පළමු තොරතුර බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට ලැබීම.
අප්‍රේල් මාසෙ 04 වෙනිදා සිය මූලාශ්‍රයකින් ලැබුණු Whatsapp තොරතුරක් රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂක වරයා දන්වනවා. ඔහු මූලාශ්‍රය හෙළි කරන්නෙ නෑ.
ඒ හා සමාන තොරතුරුම තමන්ට අප්‍රේල් මාසෙ 5 වෙනිදත් ලැබුණා කියලා ඔහු ලිඛිතව දත්ත මගින් සාක්කි ලබා දෙනවා. මේ තොරතුර මුලින්ම ලබා දීලා දැනුවත් කරන්නෙ ජාතික බුද්ධි ප්‍රධානියාව. මේක අප්‍රේල් 07 වෙනිදා කරනවා. ඒ වෙනකන් මේ ගැන කාවවත්ම දැනුවත් කරන්නෙ නෑ.එම තොරතුර අප්‍රේල් 08 වෙනිදා ආරක්ෂක අමාත්‍යාංශයයේ ලේකම් ට දැනුම් දෙනවා.
2019 අප්‍රේල් 08 සිදුවිය හැකි ප්‍රහාරයක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කිරීම සිදු වනවා.
මේක එදාම පොලීසියට දැනුම් දෙන්නට හැදුවත් ඒක බැරි වෙන්නෙ ඉන්දීය ආරක්ෂක ලේකම් ගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන්. අප්‍රේල් මාසේ 09 වෙනිදා පැවැත්වෙච්ච බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ රැස්වීමට මේක කියනවා. හැබැයි අප්‍රේල් 09 මේක ගැන වැඩි කතාවක් වෙන්නෙ නෑ වගේම අදාළ පාර්ශව දැනුවත් වීමක් සිද්ධ වෙන්නෙත් නෑ.
අප්‍රේල් 09 ම පොලිස්පතිවරයාට ලියුමක් යවනවා රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකවරයා විසින්.අතිශයින්ම රහසිගතයි යනුවෙන් ලේබල් කරලා මේ ලියුම යවන්නෙ. සහරාන් හෂීම් සහ ඔහුගේ ගෝලයෝ (මේ ලිපිය 4W2 ලෙස සලකුණු කර ඇත) සමහර පල්ලි, සංචාරක හෝටල් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරන බවටද එයට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයද ඇතුළත් වනු ඇතයි එම ලිපියේ සදහන්.
හරි දිනයක් නැති වුණත් මේක මරාගෙන මැරෙන, පිහි වලින් කරන හෝ වෙනත් ආකාරයකින් කරන ප්‍රහාරයක් විය හැකි බවට දැනුම් දෙනවා.
2019 අප්‍රේල් 16 කාත්තන්කුඩියේදි යතුරුපැදියක් පුපුරා යෑම. මේක තමයි සිද්ධ වෙන ආසන්නතම සිදුවීම. මේ ගැන නැගෙනහිර කණ්ඩායමෙන් බුද්ධි සේවා අධ්‍යක්ෂට පැමිණිල්ලක් ලැබෙනවා.
මේ බුද්ධි සේවා අධ්‍යක්ෂ ගේ සාක්කිය,
"Then on the 17th my people from that area (කාත්තන්කුඩි) said, Sir their is a complaint in the police, I asked 'what sort of complaint?' It was about 7.30 pm in the evening.I got this call on the 17th He said, සර් පොඩි පිපිරීමක් වගේ කියලා I said, යන්න ගිහින් බලන්න කියලා and they said, හිතා ගන්න බැරි විදිහට කෑලි කැඩිලා."
2019 අප්‍රේල් 18 අප්‍රේල් 18 වෙනිදා මේ පිපිරීම සහරාන් ට සම්බන්ධ බවත් ඒක පෙරහුරුවක් බවත් රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ පොලිස්පතිවරයා ට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙනවා. අප්‍රේල් 19 රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ ව අමතලා මෙහෙම දෙයක් වෙලා තියෙනවා කඩිනමින් ක්‍රියා කරන්න කියලා අනතුරු අඟවනවා. නමුත් කිසි දෙයක් වෙන්නේ නෑ.
රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකවරයා තමන්ගේ මූලාශ්‍රයට (නම හෙලි කිරීමට අකමැති) ඔහුට Whatsapp හරහා මෙහෙම පණිවිඩයක් යවනවා.
"ශ්‍රී ලංකාව තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් කිරීමේ සැලසුමක් ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් සහ ඔහුගේ සහචරයන් සතුව ඇත. ඔවුන්ගේ සැලසුමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ කාත්තන්කුඩියට සමීප පාලමුනෙයි ප්‍රදේශයේදී 2019 අප්‍රේල් 16 දින පුපුරන ද්‍රව්‍ය සවි කළ යතුරුපැදියක් පුපුරවා හරිමින් පෙරහුරුවක් සිදු කර ඇති බව තවදුරටත් දැනගැනීමට ඇත"
ඊට මූලාශ්‍රයෙන් ලද පිළිතුර.
"2019.04.21 දින හෝ ඊට ආසන්න දිනක ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ ප්‍රහාරය දියත් කිරීම සිදු විය හැකි බව හා දේවස්ථාන හා ඉන්දියානුවන් වැඩි සංඛ්‍යාවක් නැවතී සිටින හෝටල් ඇතුළු ස්ථාන අටක් ඔවුන් ඒ සදහා තෝරාගෙන ඇති බව වාර්තා වේ. වැඩිදුර විස්තර පසුවට.
2019 අප්‍රේල් 20 පෙ.ව. 7.30 එළඹෙන දිනයේ භයානක යමක් සිදුවිය හැකි බවට රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ පොලිස්පතිවරයාට පැවසීම. නමුත් ඒ පිළිබඳව සැලකිලිමත් නොවීම.
අප්‍රේල් 21 උදෑසන 8.27 ට රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකවරයාට පහත පණිවිඩය ලැබුණි.
"ගරු කටයුතු මහත්මයාණෙනි, සුබ උදෑසනක්. ඔවුන් අද ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඔබගේ කාරුණික දැනුවත් වීම පිණිසයි මහතාණෙනි, කොළඹ මෙතෝදිස්ත දේවස්ථානයක් ඔවුන්ගේ එක් ඉලක්කයකි."
මේ අවස්ථාවේදී බුද්ධි සේවා අධ්‍යක්ෂ බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව දැනුවත් කරනවා. කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා මෙතෝදිස්ත දේවස්ථානය වෙතට ගිහිල්ලා දේව මෙහෙය නවත්තන්න කිව්වත් ඒක දිගටම කෙරෙනවා.
2019 අප්‍රේල් 21 උදෑසන 8.45 ට පළමු බෝම්බය පුපුරා යනවා.
මේක සහරාන් හෂීම් කියන පුද්ගලයාට තනියෙන් කරන්න පුළුවන් වුණ දෙයක් නෙමෙයි කියලා මම අදටත් විශ්වාස කරනවා. මේ තරම් අනතුරු ඇඟවීම් වෙලත්, වරෙන්තු තිබිලත් වාහන වල ගිහින් දේශනා පවත්වන්න තරම් රැකවරණයක්, හයියක් ඔහුට තිබිලා තියෙනවා.
අදටත් මම ඉල්ලන්නේ අන්න ඒ රැකවරණය දීලා, දැනට නිදැල්ලේ ඉන්න කොටසට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණය. එදා මැruණේ හයක් හතරක් නොතේරෙන පොඩි ළමයි. කිසිම දෙයක් නොදන්න අහිංසක මිනිස්සු.
සහරාන්ගේ රැඩිකල්කරණයට ලක් වෙච්ච පුද්ගලයෝ 94 දෙනෙක්ගේ විස්තර 2017 ඔක්තෝබර් 31 ලැබෙනවා. තව නම් 129 ක ලැයිස්තුවක් 2019 පෙබරවාරි වලත් ඉදිරිපත් වෙනවා. ජමීල් කියන පුද්ගලයෙක් මේ නම් ලැයිස්තු වල උඩින්ම ඉන්නවා. ඔහුව 2018 දි අත්අඩංගුවට අරන් ආපහු ප්‍රශ්න කරලා නිදහස් කරනවා.
ජමීල් කියන්නේ එදා මraගෙන මැruන උන්ගෙන් එකෙක්.
ඔයාලට මේ Timeline එක කියවද්දී ආපු තරහ, ඇඟ හිරිවැටෙන එක මට මේක ටයිප් කරද්දී විස්තර හොයද්දී ආවා. දැනට ක්‍රියාත්මක වන නඩුව ගැන වැඩි වශයෙන් කියන්නේ නැත්තේ ඒක තවමත් අධිකරණයේ කටයුත්තක් නිසා.
අනිත් එක සුරේෂ් සලේට අත්අඩංගුවේදී සලකන්නේ නරක විදිහට නම්, ඒක කිසිසේත්ම නොවිය යුතු දෙයක්. ඔහු තවමත් සැකකරුවෙක් පමණයි. ඕනෑම තැනැත්තෙක් නීතිය ඉදිරියේ වරදකරුවෙක් වෙනකන් ඔහු වරදකරුවෙක් නෙමෙයි.
හැබැයි මේ පරීක්ෂණය, මේ නඩුව ඉදිරියට කරගෙන යන්න දෙන්නේ නැති කොට්ටාසයක් දැන් දකින්න පුළුවන්. මේ නඩුව ඉදිරියට අරගෙන ගියොත් සහරාන් හෂීම්ට සහාය දුන්න අදිසි හස්තය එළියට එන එක ගැන තියෙන්නේ ඔවුන්ට විශාල ප්‍රශ්නයක්.
ඒ අදිසි හස්තය එළියට එන්නම ඕනි! උදේ පාන්දර ලස්සනට ඇඳගෙන පල්ලි ගිහින් මිනී පෙට්ටියෙන් ගෙදර ආපු, උදේට කන්න හෝටලයට ගිහින් මිනී පෙට්ටියෙන් ගෙදර ආපු මගේ රටේ මගේ මිනිස්සුන්ට සාධාරණය ඉටු වෙන්නම ඕනි!
සදාකාලික ආබාධිත වුණ, තමන්ගේ පවුලේ ඔක්කොම මිය යද්දී ඉතුරු වෙලා තවමත් සුසුම් හෙලන මිනිස්සුන්ගේ හිත් වලට සහනයක් දැනෙන්න ඕනි!!!
මේ නඩුව බලපෑම් වලින් තොරව අවසන් විය යුතුයි. තක්කඩින්ට තවදුරටත් මේ රටේ අහිංසක මිනිස් ජීවිත බිලි දෙන්න ඉඩ දෙන්න බෑ.