19/06/2026
💍දුම්රිය ස්ථානාධිපතිතුමා රියදුරු මහතාට දෙන "වළල්ලේ" සැබෑ කතාව! 🚂
ඔබ කෝච්චියේ නිතර යන කෙනෙක් වෙන්න ඇති, නැත්නම් ජීවිතේ එක සැරයක් හරි කෝච්චියක ගිහින් ඇති. දුම්රිය ස්ථානයකදී කෝච්චියක් නවත්වන්නේ නැතුව සෙමින් ධාවනය වෙද්දී, නැත්නම් නවත්තලා පිටත් වෙද්දී ඔබ අනිවාර්යයෙන්ම මේ අපූරු දර්ශනය දැකලා ඇති. 👀
දුම්රිය ස්ථානාධිපතිතුමා (Station Master) දිගු වේවැල් වළල්ලක් කෝච්චියේ රියදුරු සහයක මහතාට දෙනවා. ඒ එක්කම රියදුරු සහයක මහතා තමන් ළඟ තිබ්බ තවත් ඒ වගේම වළල්ලක් ස්ටේෂන් එකේ ඉන්න සේවකයෙක් අතට දෙනවා.
"ඇත්තටම මොකක්ද මේ හුවමාරු කරගන්න වළල්ල? මේකෙන් කරන්නේ මොකක්ද?"🤔
හුඟක් දෙනෙක් දන්නැති, හැබැයි දුම්රිය ඉතිහාසයේ ලෝකයම හොල්ලපු මේ අපූරු ක්‍රියාවලිය පිටුපස තියෙන රහස අද අපි කියවලා බලමු!
🛑 1874 මහා අනතුර සහ "ටයර්ගේ ටැබ්ලට් ක්‍රමය" (Tyer's Tablet System)
ඈත අතීතයේ, ඒ කියන්නේ 1874 වර්ෂයේ බ්‍රිතාන්‍යයේ සිදුවූ දරුණු දුම්රිය අනතුරකින් විශාල පිරිසකට ජීවිත අහිමි වුණා. මේ වගේ විනාශයක් යළි කිසිදා නොවෙන්න වගබලාගන්න "එඩ්වඩ් ටයර්" (Edward Tyer) නම් දක්ෂ ඉංජිනේරු මහත්මයා අලුත් ආරක්ෂිත සන්නිවේදන ක්‍රමයක් ලෝකයට හඳුන්වා දුන්නා. අන්න ඒක තමයි අදටත් අපේ රටේ භාවිත වන "ටයර්ගේ ටැබ්ලට් ක්‍රමය".
අද වෙද්දී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල විදුලි ආලෝක සංඥා (Color Light Signals) තිබුණත්, ලංකාවේ බහුතරයක් දුම්රිය මාර්ගවල (විශේෂයෙන්ම උඩරට මාර්ගයේ) අදටත් 100% ක් සාර්ථකව සහ ආරක්ෂිතව දුම්රිය ධාවනය කරවන්නේ මේ අවුරුදු 150ක් පැරණි, හැබැයි තාමත් සුපිරියටම වැඩ කරන ක්‍රමවේදයෙන්.
🛠️ කොහොමද මේක වැඩ කරන්නේ? (සරල උදාහරණයකින්)
අපි හිතමු කොළඹ ඉඳන් බදුල්ල බලා යන දුම්රියක් ලංකාවේ උසම ස්ටේෂන් එක වෙන "පට්ටිපොල" ඉඳන් ඊළඟට තියෙන "ඔහිය" ස්ටේෂන් එකට යන්න ලෑස්ති වෙනවා කියලා.
🔔 පළමු පියවර (කෝල් එක සහ ටිං ටිං සද්දය): පට්ටිපොල දුම්රිය ස්ථානාධිපතිතුමා ස්ටේෂන් එක ඇතුලේ තියෙන විශේෂ "ටැබ්ලට් මැෂින්" එකෙන් ඔහිය ස්ටේෂන් එකට 'බෙල් සංඥාවක්' (Bell Code) යවනවා. (ඔයාලට ස්ටේෂන් වල ඉද්දි මැෂින් වලින් ටිං ටිං ගාලා ඇහෙන සද්ද තමයි මේ!). මේකෙන් අහන්නේ "පට්ටිපොල සහ ඔහිය අතර පාර ක්ලියර්ද? වෙන කෝච්චියක් එනවද?" කියලා.
🔐 දෙවැනි පියවර (අවසරය ලැබීම): පාරේ කිසිම බාධාවක් නැත්නම් ඔහිය ස්ටේෂන් මාස්ටර් ඒකට එකඟ වෙලා ආපහු බෙල් එකක් ගහනවා.
🎛️ තුන්වැනි පියවර (මැෂින් ක්‍රියාකාරිත්වය): දැන් පට්ටිපොල දුම්රිය ස්ථානාධිපතිතුමා මැෂින් එකේ තියෙන "ප්ලන්ජරය" (Plunger) කියන බට්න් එක තද කරන් ඉන්නවා. ඒ වෙලාවෙම ඔහිය ස්ථානාධිපතිතුමා එහේ මැෂින් එකේ රඳවනය ඇද්දම මැෂින් එකේ "Train Approaching" (දුම්රියක් ළඟා වෙනවා) කියලා වැටෙනවා.
🎫 හතරවැනි පියවර (ටැබ්ලටය එළියට ගැනීම): ඊටපස්සේ ඔහියෙන් බෙල් එක ගහද්දී, පට්ටිපොල ස්ථානාධිපතිතුමා තමන්ගේ මැෂින් එකේ යට කොටස ඇදලා ලෝහමය පෙත්තක් වගේ තියෙන "ටැබ්ලට් එක" එළියට ගන්නවා. දැන් මැෂින් දෙකේම වැටෙන්නේ "Train On Line" (මාර්ගයේ දුම්රියක් ඇත) කියලා.
🔄 අර වළල්ල ආවේ ඇයි?
මැෂින් එකෙන් එළියට ගන්න ටැබ්ලට් එක කියන්නේ ලෝහමය රවුම් පෙත්තක්. ඉතින් පැයට කිලෝමීටර් 40-50 වේගයෙන් යන කෝච්චියකට මේ පුංචි ලෝහ පෙත්ත අතින් අතට මාරු කරන්න බෑනේ. අන්න ඒ නිසයි, ඒක ලෙදර් පවුච් එකක් සහිත විශාල වේවැල් වළල්ලකට දාන්නේ. එතකොට රියදුරු මහත්තුරුන්ට ලේසියෙන්ම අත දාලා ඒ වළල්ල ගන්න පුළුවන්.
දුම්රිය ස්ථානයෙන් ටැබ්ලටය සහිත වළල්ල රියදුරු සහයක මහතාට බාරදීම දුම්රිය ස්ථානාධිපතිතුමාගේ රාජකාරියක්.
කෝච්චියෙන් දෙන කලින් ස්ටේෂන් එකේ (අඹේවෙල) ටැබ්ලට් එක බාරගන්නේ ස්ටේෂන් එකේ ඉන්න දුම්රිය කාර්යය සහයක මහතෙක්.
🛑 කෝච්චිය ඔහියට ආවට පස්සේ මොකද වෙන්නේ?
කෝච්චිය ඔහියට ආපු ගමන් රියදුරු සහයක මහතා පට්ටිපොලෙන් ගත්ත ටැබ්ලට් එක ඔහිය ස්ටේෂන් එකට දෙනවා. ඔහිය ස්ථානාධිපතිතුමා ඒක තමන්ගේ මැෂින් එකට දාලා වැහුවම මැෂින් දෙකේම "Line Closed" (මාර්ගය වසා ඇත/නිදහස්) කියලා වැටෙනවා. ඒ කියන්නේ පාර දැන් සම්පූර්ණයෙන්ම සේෆ්!
මේ විදියට පට්ටිපොලෙන් ආපු ටැබ්ලට් එක, ඊළඟට බදුල්ල පැත්තේ ඉඳන් එන කෝච්චියක් අතේ ආපහු පට්ටිපොලටම යවනවා. හැබැයි එක දිගට කෝච්චි කිහිපයක් එකම පැත්තට ආවොත් ගැටලුවක් වෙන්නේ නැද්ද? නැහැ, මොකද මේ මැෂින් එකක් ඇතුලේ එකම වර්ගයේ ටැබ්ලට් පෙති කිහිපයක්ම තියෙනවා.
🚨 ඔබ දැනගත යුතුම රසවත් කරුණු කිහිපයක්:
වෙන මැෂින් එකකට දාන්න බෑ: පට්ටිපොල-ඔහිය මැෂින් එකේ ටැබ්ලට් එකක් අරන් ගිහින් ඔහිය-ඉදල්ගස්හින්න මැෂින් එකට දාන්න බෑ. මොකද හැම සෙක්ෂන් එකකම ටැබ්ලට් එකේ කපලා තියෙන "කට්ට" (Notches) එකිනෙකට වෙනස්. ඒවා ගැලපෙන්නේ ඒ අදාළ මැෂින් එකට විතරයි!
ටැබ්ලට් නැතුව යන්නම බෑ: ටැබ්ලට් එකක් නැතුව කෝච්චියකට ඉදිරියට යන්න නීතිමය අවසරයක් නැහැ. යම් හෙයකින් නොනවත්වා ධාවනය වන සීග්‍රගාමී දුම්රියකට වේගය අඩු කරලවත් ටැබ්ලට් එක ගන්න බැරි වුණොත්, කෝච්චිය සම්පූර්ණයෙන්ම නවත්තලා හරි ටැබ්ලට් එක ගන්නම ඕනේ!
මැෂින් එක කැඩුනොත්? (Pilot Working ක්‍රමය): හදිසියේවත් ටැබ්ලට් මැෂින් එකක් අක්‍රිය වුණොත් දුම්රිය ධාවනය කරන්නේ "පයිලට් වර්කින්" කියන විශේෂ ක්‍රමයට. එතකොට ටැබ්ලට් එක වෙනුවට ස්ටේෂන් එකේ සේවකයෙක් (Pilotman) කෝච්චියේ එන්ජිමට නැගලා ඊළඟ ස්ටේෂන් එක වෙනකම්ම යනවා. ඔහු නැතුව අනෙක් අතට කිසිම කෝච්චියක් එවන්න බෑ.
💎 තාක්ෂණයට වඩා විශ්වාසවන්ත "පැරණි ක්‍රමය"
අද කාලේ කොච්චර සැටලයිට්, ජී.පී.එස්, කොම්පියුටර් සිස්ටම් තිබුණත් තාක්ෂණික දෝෂ නිසා සිද්ධ වෙන අනතුරු ඕන තරම් ලෝකෙන් ඇහෙනවා. හැබැයි මේ ටැබ්ලට් ක්‍රමයේදී එක සෙක්ෂන් එකකට එක සැරේකට නිකුත් වෙන්නේ එකම එක ටැබ්ලට් එකක් විතරයි. ඒ නිසා මුහුණට මුහුණ ලා දුම්රිය දෙකක් එකම පීල්ලේ ගැටෙන්න තියෙන ඉඩකඩ 100% ක්ම නැති වෙනවා. 💯
ඉතින් ඊළඟ සැරේ කෝච්චියේ යද්දී මේ වළලු හුවමාරුව දැක්කොත්, මේ ලියපු කතාව මතක් කරලා ඔයාගේ යාළුවන්ටත් කියලා දෙන්න! 😉✨
ලිපිය වටිනවා කියලා හිතුණා නම් ෂෙයාර් කරලා ඔයාලගෙ අදහස් පහලින් දාන්න 👇