18/08/2026
ලොකු අයියාගෙන් දෝනිට.
අපේ තාත්තගෙ පැත්තෙන් දෙයියනේ කියල කොණ්ඩේ හොදට යසට වැවෙනවා. අපේ ආච්චි අම්මට 80ත් පැනලා අදටත් ලස්සන දිග කොණ්ඩෙක හිමිකාරියක්. ඊට පස්සේ අපේ චූටි නැන්දා. චූටි නැන්දගෙ කොණ්ඩෙත් දනිහෙන් පල්ලෙහාට කාලයක් වවාගෙන හිටියා.
ඊලගට මේ කතාවේ ප්‍රධාන චරිතේ. අපේ නංගියා. අපේ නංගියටත් ලස්සනම ලස්සනම කොණ්ඩයක් තිබ්බා උකුලෙන් පල්ලෙහාටමට. අපි ආදරේට කිව්වෙ දෝණි කියලා. මං දැන් ඉදලා දෝණි කියලාම කතා කරන්නම් මොකද ඉස්සර මට හරි කේස් එයාට දෝණි කියලා කිව්වෙ නැති වුණාම.
ඉතින් අපේ දෝණි හරි ප්‍රසිද්ධයි එයාගෙ කොණ්ඩෙ නිසා. ලස්සනට නැටුවා. හරි සුන්දර පංචකල්‍යනයෙන් අගතැන්පත් හරිම හරි අහිංසක කෙල්ලක්. මං දෝණි ගැන මීට කලින් කිහිප වතාවක්ම අකුර කරලා තියෙනවා, දැන් පොඩ්ඩක් අඩු කලේ ආදරේ නැති නිසාවත් මතක නැති නිසාවත් නෙමෙයි කෙල්ලට පාඩුවෙ ඉන්ඩ දෙන්ඩ ඕනා නිසා.
ඉතින් මේ කොණ්ඩ කතාව මේ කතාවට ඈදෙන්නේ නංගි 2018 දි අසනීප වුණ වෙලේ. මුල් ටිකේ හැමෝම හිතුවේ මේක නිකන්ම නිකන් සාමාන්‍ය අසනීප තත්වයක් කියලා. මොකද ඒ වෙනකොට දෝණි කුලුදුල් යෞවන වයසට පා තැබුවා විතරයිනේ. තව කොච්චරනම් කල් තියෙනවාද මේකිට. කවදා හරි මගෙ වෙඩින් එකේදි පිස්සු හැදෙන්ඩ නටනවා කියලා පොරොන්දු වුණ එකී. එක පාරටම පරවෙන්ඩ ගත්තා.
ගොඩක් අමාරු වෙනකන් මං හරියට දැනගෙන හිටියෙත් නෑ. හැමදේම වෙන්ඩ ගියේ මාස තුන හතරයි. නංගි බොහොම අමාරුවෙන් අවසන් අදියරේ හිටියේ.මට මතකයි ඔහොම අමාරු වෙලා ඉද්දි නංගිව වීඩියෝ කෝල් එකකින් පෙන්නුවා. උඹත් එක්ක එදා මට කතා කරගන්ඩවත් හරියට පණක් තිබ්බෙ නෑ. ඒක ගැන මං අදටත් පසුතැවෙනවා. එදා උඹත් එක්ක තව පොඩ්ඩක් කතා කරන්ඩ තිබ්බා. ලොකු අයියා අඩන්ඩ එපා කියලා කිව්වා මතකයි.
කොහොමින් කොහොම හරි නංගිට සමහරවිට තේරෙන්ඩ ඇති එයා මේ ගත කරන්නෙ එයාගෙ අවසාන කාලේ කියලා. එයා ඒ වෙනකොට එයාගෙ අවසාන කටයුතු කොහොමද කරන්ඩ ඕනා කිසිම ඉටිකොල ජාතියක් පාවිච්චි කරන්ඩ එපා ඉතාම චාම් විදියට ඕනා කියලා හැමදේම එයා අත ඇරලා තිබ්බේ. එයාට ඕන වෙලා තිබ්බේ එයා යද්දි ඒ හිටියා වගේම ලස්සනට යන්ඩ. කුමාරියක් වගේ.ඒක නිසා එයා Treatment කරන්ඩ බෑ කිව්වා එයාගෙ කොණ්ඩෙ නැති වෙයි කියලා. එයාට ලස්සනට ඉන්ඩ ඕනා කිව්වා අවසාන කාලේ.
කොහොමින් කොහොම හරි අපේ කෙල්ල එයාගෙ ලස්සනයි එයාගෙ ලස්සන කොණ්ඩෙයි අරගෙන සදහටම ගියා. එදා ඉදන් උඹේ ලොකු අයියා හරි ආසාවෙන් හිටියා ලස්සනට කොණ්ඩෙ වවලා කවදා හරි Cancer Hospital එකකට කොණ්ඩේ Donate කරනවා කියලා උඹව මතක් කරගෙන.
කන් දෙකෙන් එලියට ජීවිතේට කොණ්ඩෙ වැවෙන්ඩ දීපු නැති මම මීට අවුරුදු 3.5 කට කලින් කොණ්ඩෙ වවන්ඩ ගත්තා. කොල්ලෙක් කොණ්ඩෙ වවනවා කියන එක ලේසි නෑ. මුල ඉදන් හැම දේම පුරුදු වෙන්ඩ ඕනා. ගැට කඩන්ඩ,කොණ්ඩෙ බදින්ඩ,කොණ්ඩෙ පීරන්ඩ,කොණ්ඩෙ බලාගන්ඩ,තෙල් සාත්තු ඔය හැමදේම පුරුදු වෙන්ඩ ඕනා.
කොණ්ඩෙ වැවීගෙන එද්දි මං දැක්කා උඹට වගේ ලස්සනම ලස්සන කොණ්ඩයක් උඹේ ලොකු අයියටත් තියෙනවා කියලා. අවුරුදු 3.5කට පස්සේ අද උඹව හිතේ තියාගෙන මං ගිහින් කොණ්ඩෙ දන් දුන්නා. කොණ්ඩ කැරලි දෙක කපලා මගෙ අත් දෙකට දෙද්දි උඹව මගෙ අත් දෙක උඩ මැවිලා පෙනුනා මගෙ සුදු නංගියෙ. ලොකුම ලොකු කැපකිරීමක් කරලා උඹේ නමින් අද ඒ පිං ටික උඹට Deposit කලා.
ඒ පුණ්‍ය බලමහිමයෙන් උඹ ඉන්න ලස්සන තැන තවත් ලස්සන වෙලා නිදුන් නිරෝගී සුවයම ලැබෙන්ඩ ඕනා. මේ සංසාර චක්කරේ ආයේ කවදාවත් මේ වගෙ අකල් මරණයක් නොලැබෙන්ඩ ඕනා. තවත් එකම එක වතාවක් අපිත් එක්කම පුලුවන් නම් ඉපදෙන්ඩම ඕනා මොකද හිතේ හැටියට මට උබට සලකගන්ඩ මට බැරි වුණා.
කරන හැම පිං අතේ වැඩක්ම උඹටම බැර වේවා !
ආදරෙයි!
- ලොකු අයියා