21/08/2026
ශාකයකට පොහොර යනු ආහාරද..???
ශාක පෝෂණය පිළිබඳ විද්‍යාත්මක යථාර්ථය සහ බොන්සායි කලාව
බොන්සායි වගාවේදී බොහෝ දෙනෙකු අතර නිතර කියැවෙන පොදු මතයක් වන්නේ ශාකයකට පොහොර යෙදීම යනු ඊට ආහාර ලබාදීම යන්නයි. ආධුනිකයෙකුට වටහා ගැනීමට මෙය සරල පැහැදිලි කිරීමක් ලෙස පෙනුනද, ශාක විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් බලන කල එම අදහස සම්පූර්ණයෙන්ම සත්‍ය නොවේ.
සැබැවින්ම ශාකය යනු ස්වයංපෝෂී ජීවියෙකි. ගස තම ආහාරය තමා විසින්ම නිෂ්පාදනය කරගනු ලබයි. පොහොර මගින් සිදුවන්නේ ශාකයට සූදානම් කළ ආහාරයක් සැපයීම නොව, එම ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමටත්, ජීව විද්‍යාත්මක ක්‍රියාකාරිත්වය නිරෝගීව පවත්වා ගැනීමටත් අවශ්‍ය මූලික පෝෂක මූලද්‍රව්‍ය ලබාදීමයි.
මේ යථාර්ථය නිවැරදිව අවබෝධ කරගැනීම, බොන්සායි ශාකයක පෝෂණ කළමනාකරණය විද්‍යාත්මකව සිදු කිරීමට මහෝපකාරී වේ.
ගස තම ආහාරය නිපදවා ගන්නේ කෙසේද?
ශාක ලෝකයේ අතිශය විමතිය දනවන ස්වභාවික ක්‍රියාවලිය වන්නේ ප්‍රභාසංස්ලේෂණයයි. ශාක පත්‍ර තුළ ඇති හරිතප්‍රද මගින් සූර්ය ශක්තිය ග්‍රහණය කරගනී. එම ශක්තිය උපයෝගී කරගනිමින්, වායුගෝලයෙන් ලබාගන්නා කාබන්ඩයොක්සයිඩ් සහ මුල් මගින් උරාගන්නා ජලය රසායනික ප්‍රතික්‍රියාවකට ලක්කර කාබනික සංයෝග නිපදවයි.එබැවින් ශාකයේ සැබෑ ශක්ති ප්‍රභවය හිරු එළියයි. ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය වන්නේ කාබන්ඩයොක්සයිඩ් සහ ජලයයි.
මෙම සමස්ත ක්‍රියාවලිය දෙස බලන කල, පොහොර යනු ශාකයේ ආහාරය ලෙස අර්ථ දැක්වීම විද්‍යාත්මකව අසත්‍ය බව පැහැදිලි වේ.
එසේ නම් පොහොර යනු කුමක්ද?
පොහොර යනු ශාකයේ ජීව රසායනික ක්‍රියාවලීන් උදෙසා අත්‍යවශ්‍ය වන්නාවූ රසායනික මූලද්‍රව්‍ය සැපයුමයි.ප්‍රධාන පෝෂක නයිට්‍රජන් (N), පොස්පරස් (P), පොටෑසියම් (K), කැල්සියම් (Ca), මැග්නීසියම් (Mg) සහ සල්ෆර් (S) වැනි මූලද්‍රව්‍ය විශාල ප්‍රමාණයෙන් අවශ්‍ය වේ.
නයිට්‍රජන් පත්‍ර සහ අලුත් අතු වර්ධනයට මෙන්ම ප්‍රෝටීන් හා හරිතප්‍රද නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වේ.පොස්පරස් සෛලීය ශක්ති හුවමාරුවට සහ ප්‍රබල මුල් පද්ධතියක් නිර්මාණය වීමට දායක වේ.පොටෑසියම් ශාකයේ ජල සමතුලිතතාව පාලනයට සහ එන්සයිම සක්‍රිය කිරීමට උපකාරී වේ.
අංශුමාත්‍ර පෝෂක ලෙස යකඩ (Fe), මැංගනීස් (Mn), සින්ක් (Zn), තඹ (Cu), බෝරෝන් (B) සහ මොලිබ්ඩිනම් (Mo) වැනි මූලද්‍රව්‍ය ඉතා කුඩා ප්‍රමාණවලින් වුවද ශාක පරිවෘත්තීය ක්‍රියා සඳහා නැතිවම බැරිය.
කෙටියෙන්ම කියතොත්, පොහොර යනු ආහාර නොව, ආහාර නිපදවන කර්මාන්තශාලාව නඩත්තු කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපකරණ හා රසායනික ද්‍රව්‍යයි.
බොන්සායි ශාකයකට මෙය විශේෂ වන්නේ ඇයි?
ස්වාභාවික මහ පොළොවේ වැවෙන ගසකට අසීමිත පසකින් පෝෂණය ලබාගැනීමේ හැකියාව පවතී. නමුත් බොන්සායි ශාකයක් ජීවත් වන්නේ ඉතා සීමිත ඉඩ ප්‍රමාණයක් සහිත බඳුනකය.නිතර ජලය යෙදීමේදී පෝෂක මූලද්‍රව්‍ය පසෙන් සෝදා පාළුවී යාමේ ප්‍රවණතාව ඉහළය. එම නිසා බොන්සායි ශාකයකට පෝෂණය සැපයීම අහඹු ලෙස කළ නොහැක. ශාක විශේෂය, වර්ධන අවධිය, බඳුනේ ප්‍රමාණය, වගා මාධ්‍යයේ ස්වභාවය, ජල සම්පාදනය සහ පරිසර උෂ්ණත්වය යන සියල්ල සැලකිල්ලට ගනිමින් එය කළමනාකරණය කළ යුතුය.
වැඩිපුර පොහොර යෙදීම සාර්ථකත්වයේ මගද?
ගසක් දුර්වල වූ සෑම විටම තව තවත් පොහොර යෙදීම බොන්සායි වගාවේදී සිදුකරන විශාලතම අත්වැරැද්දකි. ශාකයක් දුර්වල වීමට හේතු රැසක් තිබිය හැක.
ප්‍රමාණවත් තරම් හිරු එළිය නොලැබීම
අධික ලෙස හෝ අඩුවෙන් ජලය ලැබීම
මුල් කුණු වීම හෝ පසෙහි වාතාශ්‍රය මදිකම
රෝග හෝ කෘමි හානි ඒවාට හේතු සපයයි.
සැබෑ ගැටලුව හඳුනා නොගෙන අධික ලෙස පොහොර යෙදූ විට, පසෙහි ලවණ සාන්ද්‍රණය ඉහළ ගොස් මුල් පද්ධතිය විනාශ වී ගස මියයාමට පවා ඉඩ ඇත.
වෘත්තීය බොන්සායි ශිල්පියෙකු නිතරම විමසා සිටින්නේ තව කොපමණ පොහොර දමන්නද යන්න නොව, මගේ ශාකයට මේ මොහොතේ අවශ්‍ය පෝෂණ සමතුලිතතාව කුමක්ද යන්නයි.
ආලෝකය නොමැති තැන පොහොරෙන් ඵලක් තිබේද?
ප්‍රමාණවත් තරම් හිරු එළිය නොලැබෙන්නේ නම් කොපමණ පොහොර යෙදුවද ශාකයට ප්‍රයෝජනයක් නැත. මන්ද, ආහාර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය මූලික ශක්ති ප්‍රභවය (හිරු එළිය) නැති විට, පෝෂක මූලද්‍රව්‍ය භාවිතයට ගැනීමට ශාකය අපොහොසත් වේ.එබැවින් බොන්සායි පෝෂණය යනු හුදෙක් පොහොර යෙදීම පමණක් නොව ආලෝකය, ජලය, වාතාශ්‍රය, මුල් පද්ධතිය සහ පෝෂණය අතර පවතින අලංකාර සමතුලිතතාවයයි.
බොන්සායි යනු ශාකයක් කප්පාදු කර බඳුනක සිරකර තැබීමම නොවේ. එය ජීවමාන ශාකයක ස්වාභාවික ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය අනුගමනය කරමින් කෙරෙන කලාත්මක මැදිහත්වීමකි.
“ගසට ආහාර දෙන ශිල්පියාට වඩා,
ගස ආහාර නිපදවන ආකාරය තේරුම් ගත් ශිල්පියා සැබෑ බොන්සායි ශිල්පියෙකි.”
Understanding the tree — not just growing the tree.
© 2026 Desmond C. Herath | Desma Bonsai
සියලුම හිමිකම් ඇවිරිණි.
゚viralシ ゚