18/08/2026
අවුරුදු 12ක් කියන්නේ තාමත් ලෝකය ගැන ඉගෙන ගන්න, සෙල්ලම් කරන්න, හීන දකින්න ඕන වයසක්. ඒත් අබ්දුල් හසීන්ට ඒ වයසෙදිම ජීවිතය අහිමි වෙලා.
වාර්තා වන විදිහට, ඔහු තවත් ළමයි පස්දෙනෙක් එක්ක දෙමටගොඩ “මල් බෙරි රිසෝට්” මහල් නිවාස සංකීර්ණයේ 14 වෙනි මහලේ පිහිටි පිහිනුම් තටාකය අසල සිටි අවස්ථාවේදී මේ අවාසනාවන්ත අනතුර සිදුව තිබෙනවා.
අනිත් ළමයි පහළට ගියත්, අබ්දුල් වෙනත් විවෘත හා අනාරක්ෂිත ස්ථානයකින් පිටතට යන්න උත්සාහ කිරීමේදී පහළට වැටී තිබෙන බවයි මූලික තොරතුරු සඳහන් කරන්නේ.
ඒ මොහොතේ මොනවගේ දෙයක් සිදුවුණාද කියලා තාමත් පරීක්ෂණවලින් සොයා බලනවා. මරදාන පොලිසිය සිද්ධිය දුටු ළමයින්ගෙන් සහ අනෙක් පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිනවා.
ඒත් මේ කතාවේ තියෙන ලොකුම වේදනාව තමයි… අවුරුදු 12ක පුංචි දරුවෙක් ආයෙත් ගෙදර එන්නේ නැති එක.
පුංචි ජීවිතයක් මේ විදිහට නැතිවෙන්න තරම් අනාරක්ෂිත ස්ථාන අපි වටේ තියෙනවද කියන ප්‍රශ්නය ගැනත් අපි හැමෝම හිතන්න ඕන.