26/06/2026
අනියමක කතාවක්..
" මම අරුණ එක්ක යනවා..පුතා කාමරේ නිදි.හත වෙනකොට ඇහැරෙයි.ඔයාගේ මහ ලොකු අම්මට කියන්න ඇවිල්ලා අරන් යන්න කියලා.යතුර රෝස මල් තුනක් පිපිලා තියෙන මල් පෝච්චිය යට"
චන්දිකගේ වයිෆ් තිළිණි එහෙම මැසේජ් එකක් එවලා ෆෝන් එක ඕෆ් කරගත්තා. චන්දික ඒ වෙනකොට හිටියේ කටාර් රාජ්යයේ රැකියාවක..
පොඩි එකාට අවුරුද්දයි මාස අටයි.
චන්දික රටින් පිටවෙනකොට පොඩි එකාට මාස තුනයි.
චන්දිකගේ අම්මයි තිළිණියි හැම වෙලාවෙම ගැටුම්.
ඒවා කොයි ගෙදරත් තියෙන නැන්දම්ම ලේලි ප්රශ්ණ.
අම්ම හරි කියලා චන්දික කියන්නෙත් නෑ..තිළිණි වැරදියි කියලා චන්දික කියන්නෙත් නෑ. චන්දිකගේ අම්මටයි තාත්තටයි හිටිය එකම දරුවත් චන්දික හින්දා නැන්දම්මා ලේලි ප්රශ්නය හොඳටෝම උග්ර වුණා.
අවසානයේ දරුණුම විදිහට උග්ර වුණු ප්රශ්නයට හේතුව චන්දික අලුතෙන් හදපු ගේ..
තිළිණිට ඕන උනේ තට්ටු දෙකක ගෙයක් හදන්න. ඒත් අම්මා කිව්වේ තනි තට්ටුවක ගෙයක් හදලා ඉතුරු සල්ලි පොතක දාගන්න කියලා.
සාකච්ඡා වට ගණනාවකින් පස්සේ අවසානයේ අම්මගේ අදහස තමයි ක්රියාත්මක වුණේ.
චන්දික රට ඉඳන් සල්ලි එව්වා.තිළිණි මෙහේ ඉඳන් ගේ හැදුවා..මෙහේ ඉඳන් කියලා කිව්වට තිළිණිගෙ අම්මයි තාත්තයි මල්ලියි එක්ක තමයි තිළිණි හිටියෙ.
ගේ බිත්ති බැඳලා ඉවර වෙනකොට චන්දිකගේ අම්මයි තිළිණියි හොඳටම තරහයි.
අම්මා අලුතෙන් හදන ගේ ළඟට එන තිළිණිට ඇහෙන්න , නොසෑහෙන්න නෝක්කඩු අඩුපාඩු කිව්වා. තිළිණි කෝල් කරලා ඒවා චන්දිකට කිව්වා.
ටිකකින් අම්මා කෝල් කරලා තිළිණිගෙ අනවශ්ය වියදම් ගැන තිළිණිගෙ හැසිරීම් ඇඳුම් පැළඳුම් ගැන වැරදි කිව්වා. චන්දික දෙන්නටම "හ්ම්" කිව්වා මිසක් වෙන කිසිම දෙයක් කිව්වෙ නෑ..
ටික දවසකට ගේ වැඩ නතර වෙලයි තිබුණේ..ඔන්න වහලෙ ගහන්න සල්ලි ටික ලෑස්ති කරගත්ත දවසෙ තිළිණි කිව්වා "ඔය ගේ ඔහොමම තිබුණාවේ මම ඕකට වහලෙ ගහන්නේ නෑ" කියලා..
තිළිණිගෙ අදහස වුණේ "අපි වෙන කොහේ හරි තැනක ඉඩමක් අරගෙන ගෙයක් හදාගමු" කියන එක..ඒ වෙනකොට තිළිණිට එයාගේ අම්මයි තාත්තයි මල්ලියි එක්කත් ඉන්න බැරි තත්ත්වයක් උද්ගතවෙලා තිබුණා.
තිළිණි කිව්ව විදියට අම්මා පොඩි එක්කෙනාව බලාගන්න කැමති නෑ. තිළිණි, ගේ වැඩවලට එහා මෙහා යනකොට මල්ලි දොස් කියනවා. "පිරිමියෙක් වගේ ගෙවල්වල වැඩ වලට එහේ මෙහෙ යන්න උඹව දීග දුන්නේ නෑ" කියලා තාත්තා කියනවා. මේවට බහින්බස්වෙලා දැන් අම්මයි තාත්තයි මල්ලියි තුන්දෙනාම හිත හොඳ නෑ..
දවස් දෙකක්ම සිද්ධ වුනු කතාබස්වල අවසාන තීරණය වුණේ, වහලෙ ගැහිල්ල පැත්තක දාලා තිළිණි බබාවත් අරන් එහා ගමේ පදිංචියට යන එක. තිළිණිගේ හොඳ යාළුවෙක් වුණු අනෝමගෙ ගෙදරට අල්ලපු ගෙදර තමයි කුලියට ගත්තෙ.
"ඔයා එනකං මං හැම දෙයක්ම බලා බලා ගන්නම් චන්දික මල්ලි" කියලා අනෝම අක්කත් කිව්ව එක චන්දෙකට ලොකු සහනයක් වුණා.
" ගෑණි තනියම කුලියට ගියේ හොඳට නටාගන්න වෙන්ඩ ඇති. අනේ උඹ වගේ මෝඩයෙක්" අම්මා කිව්වා..
" අම්මත් ඒ ගෑනිට කොහේවත් ඉන්න දෙන්නේ නෑනේ අම්මේ" චන්දික කිව්වා..
ඒ අතරේ අම්මා දඹදිව යන්න සල්ලි ඉල්ලුවා.
තිළිණි කිව්වා අම්මා එක්ක තියෙන සියලූ ගනුදෙනු ඉවර කරනවා නම් විතරයි මේ පවුල ඉස්සරහට යන්නේ කියලා .
තිළිණිට අනුව චන්දික අම්මා එක්ක ෆෝන් එකෙන් වත් කතා කරන්න බෑ.ආයේ කවදාකවත් ගෙදර යන්න බෑ.
අවසාන වශයෙන් චන්දිකගේ ගෙදර අයවත් තිළිණිගෙ ගෙදර අයවත් එක්ක කිසිම සම්බන්ධයක් ඕන නෑ..ඈත දුර පළාතකින් ඉඩමක් අරගෙන ගෙයක් හදන්න ඕන.
එතකොට වැඩ ඉවර කරපු ගෙදර...?
තිළිණි කිව්වේ අම්මට කියලා ඒ ඉඩං කෑල්ලත් එක්ක විකුණලා සල්ලි ගන්න කියලා.
අම්මා නං මැරුණත් ඒ ඉඩමෙ අඟලක් වත් විකුණන්න කැමති වුණේ නෑ.
"වෙනම පළාතකින් අලුතෙන්ම ඉඩමක් අරගෙන මුල ඉඳන් ගෙයක් හදන්න කොච්චර වියදමක්ද..මට සදහටම රට ඉන්න වෙයි"
" ඒවා මම දන්නෙ නෑ "
ඔය සේරම ප්රශ්ණ මැද්දේ අම්මා දඹදිව යන්න සල්ලි ඉල්ලපුවාම චන්දික පොඩ්ඩක් අඳිමදි කළා..
"උඹට අරකට සෝ දාන්ඩයි සැලොන් යන්ඩයි දෙන්ඩ සල්ලි තියෙනවා මට වන්දනාවක යන්න දෙන්න තමයි සල්ලි නැත්තේ" අම්මා අවසානයට කෝල් කරපු දවසෙ කිව්වේ එහෙම.
අම්මට දඹදිව යන්නම ඕන නම් යන්න සල්ලි තියෙනවා..අම්මා ඒ බැලුවේ චන්දික සල්ලි දෙනවද නැද්ද කියලා. කොහොම හරි ඔය සිද්ධියෙන් පස්සේ අම්මා චන්දිකට එක කෝල් එකක්වත් ගත්තේ නෑ.
තිළිණි එයාගේ අම්මලාගේ ගෙදර යන්නෙත් නෑ, චන්දිකගේ ගෙදර යන්නෙත් නෑ. අනෝමගෙ කේක් බිස්නස් එකට උදව්වක් කරගෙන පොඩි ආදායමකුත් ගත්තා.
අම්මා දඹදිව ගියා කියලා චන්දිකට ආරංචි වුණා. හැබැයි ඒකට නම් දුක හිතුණා.
පොඩි එකාට උණ හැදිලා ඉස්පිරිතාලෙ හිටියා.අනෝමටත් බලන්න යන්නවත් වෙලාවක් තිබුනෙ නැති ඒ දවස් දෙක ඉස්පිරිතාලේ අසරණ අම්මෙකුයි පුතෙකුයි වගේ අපි දෙන්නා හිටියා කියලා තිළිණි කියනකොට චන්දිකට පුදුම වේදනාවක් දැනුණා..
"මම මේ රස්සාව දමල ගහලා එන්න බලන්නද එක්කො..පුළුවන් විදියට කාලා ඇඳලා ඔහේ ඉමු" චන්දික එහෙම කිව්වේ බොරුවට නෙවෙයි.ඇත්තටමයි..
හැබැයි තිළිණි ඒකට එකඟ වුණේ නෑ.
අම්මා දඹදිව ගිහිල්ලා එනකොට අසනීප වෙලයි ආවේ. ඒක සාමාන්ය හෙම්බිරිසා උණක් උනාට අම්මගේ වයසත් එක්ක අම්මට ටිකක් අමාරු වුණා..ඒ වෙලාවේ අම්මගේ බාල නංගිට සල්ලි එවලා,අම්මව සනීප කරගන්න වියදම් කළේ චන්දික. ආපහු අම්මයි පුතයි අතර හිත හොඳ ගොඩ නැගුණා.
" ඕං ඔහේ කවුද කොල්ලෙක් එක්ක තිලිනිය එහෙ මෙහෙ යනවා කියලත් මිනිස්සු කියනවා අනේ මං දන්නෑ පුතේ ඕව්වා" අම්මා දවසක් එහෙම කිව්වා.
"අම්මා ඔය කට කතාවල් ඔළුවේ දාගන්නැතුව ඉන්න" චන්දික ලාවට මඟඇරියා.
මාස හයක් ගෙවෙනකොට චන්දිකට කතා කරපු අනෝමා චන්දිකව පුදුම කළා.
" අනේ මල්ලි..මම ඔයාගේ ගෑනිට උදව් කලේ මෙහෙම කරයි කියලා දැනගෙන නෙමෙයි. අපෙ මල්ලිව අල්ලගෙන මේකි.අයියෝ මං කර ගත්ත විනාශයක්. මට අපේ ගෙදර මිනිස්සුත් බනිනවා.. අන්න ඌ ඊයේ හැන්දෑවෙ ඉඳන් ගිහිල්ලා එහේ ඉන්නවා.."
අවුරුද්දක් විතර තිස්සේ හෙල්ලි හෙල්ලි තිබ්බ පාළම එක පැත්තකින් කඩාගෙන වැටුණා..හැබැයි තාමත් චන්දික හිටියේ පාළමේ මැද. අවුරුද්දක්ම පාලම මැද හිටගෙන හිටපු චන්දික කැඩිලා නැති පැත්තෙන් උඩට නගින්න පටන් ගත්තා .
" සුදූ..අනෝමක්කා කෝල් කරා.මේ..."
"අහන්න දෙයක් නෑ..ඔයා හිතන දෙයක් හිතා ගන්න"
"ඒ කියන්නෙ?"
"ඒ කියන්නෙ ඉතිං ඔයා කවදාවත් ඔයාගේ අම්මව අතාරින්නෙත් නෑ.මං කියන විදිහට වෙන පැත්තක පදිංචියට යන්නෙත් නෑනේ.මටත් ජීවිත කාලෙම ඔය ගෑනිත් එක්ක මූණ බලාගෙන ඉන්නත් බෑ. ඒ හින්ද මං තීරණයක් ගත්තා"
"............................."
"අපි ඩිවෝස් වෙමු..මං අරුණ එක්ක යනවා"
කෝල් එක කට්ටුනා. පැය බාගෙකට විතර පස්සේ චන්දික ආපහු කෝල් එකක් ගත්තා.
"මට නං කියන්න තියෙන ඔක්කොම මං කියලා ඉවරයි"
"එතකොට පුතාට මොකද වෙන්නේ?"
"මං ගෙදරින් එනකොට ළමයි ගෙනාවෙ නෑනේ"
එතනින් එහාට තිළිණි කතා කළේම නෑ.චන්දිකට තොරතුරු දුන්නේ අනෝමා. කී මනි එකක් නැතුවම ගත්ත ගේ අයිතිකාරයා අනෝමගෙ ඥාතියෙක්නෙ..එයාට කිව්වලු දවස් දෙකකින් ගෙදරින් යනවා කියලා. එතකොට අරුණත් ගෙදර එයාගේ බඩු මුට්ටු ඇඳුම් පැළඳුම් ලෑස්ති කරනවා පෙනුණා.
"උඹ මොකක්ද හර හරකෝ ඔය කරන්න හදන්නේ?"
"උඹලා ඔක්කෝටම ලැජ්ජාව අපි මෙහෙ හිටියොත්නේ. අපි මෙහෙන් යනවා"
අනෝමයි අනෝමගේ අම්මයි ගිහිල්ලා තිළිණිව අල්ලගෙන ත ඩි බෑ වා. අනෝමගේ අම්මා අනෝමට සා ප ක ළා. මල්ලි එයාගේ අඩුම කුඩුම ටික ත්රීවිල් එකක පටවගෙන යන්න ගියා. මල්ලිගෙ යාළුවෙක් අනෝමට කෝල් කරලා කිව්වා " බයවෙන්න එපා කියමු අපේ ගෙදර ඉන්නවා" කියලා.
තිළිණිත් ගෙදර හිටිය හින්දා,මල්ලිත් යාලුවෙක්ගේ ගෙදර ඉන්න හින්දා මොනවා උනත් මුන් දෙන්නා පැනලා යන එකක් නෑ කියලා අනෝමා විශ්වාස කළා. ඔය ඔක්කොම පැයෙන් පැයට චන්දිකට කියන්නත් අනෝමා අමතක කළේ නෑ..
පහුවදා පාන්දර පහ හමාරට තමයි තිළිණි අර මැසේජ් එක චන්දිකට යවලා තිබ්බේ.
චන්දික ඒක දකිනකොට හත පහුවෙලා..
අවුරුද්දයි මාස අටක පොඩි එකා..නැගිටලා ඇති..දෙයියෝ සාක්කි..
චන්දික එලවපු වාහනේ නතර කළා. වාහනෙන් බහින්න බෑ, පිච්චෙන්න රස්නෙයි..ඒත් වාහනෙන් බැහැලා හුස්මක් ගන්නම ඕන කියල හිතුණා.
චන්ද්රිකගේ සහායකයා ඇහුවා "ඇයි බන් අයියේ?" කියලා.
චන්දික මුලින්ම කෝල් එකක් ගත්තේ අනෝමට.
"අනේ මම පස්සේ කතා කරන්නම් මල්ලි..අම්මට පපුව අමාරුව හැදිලා ඉස්පිරිතාලේ අරන් ආවා.මුන් දෙන්නා පාන්දර ගිහින් මල්ලි"
"අක්කෙ මගෙ කොල්ලා තනියම ගේ ඇතුලෙ"
" මොකක්...කවුද කියන්නේ? එක අතකට ඒකත් හොඳයි.."
මොනව උනත් මල්ලි ළමයෙකුත් එක්ක ගෑනිව අරගෙන ගිහිල්ලා නෑනේ. ළමයෙකුගේ බරක් එයාගේ මල්ලිට එන්නේ නෑ කියන සැනසීම අනෝමට දැනෙන්න ඇති. හැබැයි ඒ එක්කම ආපහු අනෝමගේ ගෑනු හිත අවදි වුණා.
" මල්ලි කියන්නෙ පොඩි එකා තනියම ගේ ඇතුලේ ඉන්නවා කියලද..කවුද කිව්වෙ?"
"තිළිණි මැසේජ් එකක් එවලා අක්කා..අක්කා පොඩි එකා හත වෙනකොට ඇහැරෙනවා. දැන් ඇහැරිලා ඇති..අනේ පොඩ්ඩක් ගිහින් කොල්ලව ගන්නවද.."
"මල්ලි මං අම්මා ගාව හොස්පිටල් එකේ ඉන්නෙ මටනම් මොකුත් කරන්න බෑ"
"අක්කෙ කොල්ලව අරගෙන තිබ්බනම් දුව බලාගනියි නේද ටිකක්.."
චන්දික අදහස් කළේ අවුරුදු පහළොවක් වයස අනෝමගේ දුව ගැන.ඒ කෙල්ල පොඩි එකාට ආදරෙයි.
" අනේ මේ පිස්සුද මල්ලි මේ ඔයාලගේ ගෑණු අපිට කරල ගිහින් තියෙන විනාස හැටියට ඔයාලගේ ළමයි බලන්න දාන්නද අපේ ළමයිනුත්...අපේ මිනිහ මගේ ඔලුව කයි. ඔයාලගේ අම්මලාට කෝල් කරල කියන්න ඇවිල්ල අරන් යන්න කියලා"
චන්දිකගේ ඔලුවට පො ල් ල කි න් ග හ ලා වගේ දැනෙන්න ගත්තා.
ඊළඟ කෝල් එක ගත්තේ අම්මට..
"යසයි පුතේ උඹට.යසයි..හරි දැම් මං ගිහින් ඔය පොඩි එකාව අරන් ආවා කියමුකෝ. ඊට පස්සේ මට පොඩි එවුන් හදන්නද උඹ කියන්නේ?..උඹ හම්බු කරපු ඔක්කොම කෑවෙ ඔය ගෑනිගේ මහ එවුන්නෙ. අවසාන මාස පහ හය විතරනෙ ඔය මෙහෙ නොහිටියේ..එවුන්ට කියපන් ළමයා හදලා දෙන්න කියලා"
"එහෙම කතා කරන්න එපා අම්මේ.මං හම්බ කරපු ඒවා උනුත් කන්න ඇති. හැබැයි ඔය ගෙටත් යට කරානෙ..අනිත් එක උන් අරගෙන ගියොත් මට ආයේ කොල්ලව හම්බවෙන එකක් නෑ"
"ඒව මං දන්නෑ මට මේ කොන්ද දිගෑර ගන්න බෑ මං කොහොමද බන් ළමයි හදන්නේ?"
" දුක හිතෙන් නැද්ද අම්මේ?"
"පොඩි එකාට මාස තුනයි උඹ යනකොට.ඒ අරන් ගියාට පස්සේ මං ළමයා දැක්කේ ගේ හදන තැනට ගෙනාවොත් විතරයි. ඒකත් වැඩිම විසි වතාවක් දකින්න ඇති. මට ඉතින් එහෙමට කැක්කුමක් නෑ"
ඒ කතාව ඉවර වුණේ එහෙම..
මොනවා වුනත් අනෝමා මනුස්සයාට කියලා තිබුණා අර ගෙදරට ගිහින් ජනෙල් වලින් ටිකක් බලන්න කියලා.
" පොඩි එකා නැගිටලා ඉන්නවලු. ගේ ඇතුලේ ඇවිද ඇවිද අම්මට කතා කර කර ඉන්නවයි කියනවා. මලිලාගේ අම්මට කියන්න ඉක්මනට ඇවිත් අරන් යන්න කියලා"
" අක්කෙ මම දැන් කොහොම හරි එනවා..මං එනකං මගෙ කොල්ලව..."
අනෝමට ඒ ටික ඇහුනෙවත් නෑ.
චන්දිකගේ සහායකයා උපුල් වාහනය එළවනවා. ඒත් නිවැරදි වෙලාවට ගමනාන්තයට යන්න නම් උපුල්ගේ වේගය මදි.එයාට තාම පුරුදු නෑ.
අවසාන චන්දිකම ආපහු රියදුරු අසුනට ආවා..උපුල් ඕන වුණේ මේ වෙලාවේ චන්දිකට මොනවාම හරි උදව්වක් කරන්න. ඒත් ඌට උගේ නිදිමත ලොකුයි..උපුල් එයාගෙ දිගටි මූන විතරක් උඩට හිටින්න මුළු ශරීරෙම ලොකු කල්පනාවක ගිල්ලුවා.
මේ ඔක්කොම අල කලංචි මැද්දේ ඌ නිදාගෙන.
එකපාරටම ඇස් ඇරපු උපුල්
" පොලිසියට කියමු අයියේ පොලිසියෙන් ගිහින් ළමයව ගන්නවනේ" කියලා කිව්වා.
"එහෙම වුණොත් ...මගේ කොල්ලව බාරගන්න කවුරුවත් නැති හින්දා නිවාසෙකට දායි නේද බං?..මං යනකං කවුරු හරි කොල්ලව තියාගත්තොත් මට ඇති...කවුරුවත්ම නැති උනොත්.....පොලිසියටවත් කියන්....ව..."
අතරමග එක තැනක ලොරිය නතර කරලා බැහැපු චන්දික වමනෙ දැම්මා.
වමනෙ දාලා ඉවර වෙලා ආපහු ලොරියට නැගපු චන්දිකගෙන් කොල්ලා ඇහුවෙ එක ප්රශ්නයයි.
" අයියේ කොතනද තමයි යතුර තියනවා කියන්නේ?"
චන්දික කොල්ලා දිහා බලාගෙන හිටියා.
උපුල්ගේ ගමේ ඉඳන් චන්දිකගේ ගමට කිලෝමීටර් තිහක් විතර තියෙනවා.ඒ උනාට මොකද කෙටි පාරවල් වලින් ගම්මැදි වලින් ගියාම ඒ දුර කිලෝමීටර දොළහකට විතර අඩු කරගන්න පුළුවන්. උපුල්ගේ අම්මා හරි කවුරු හරි යන්න ලෑස්ති වෙනවා ඇති කියලා චන්දිකට තේරුණා.
" අර මං කිව්වෙ චමින්දි අක්කා...ඒකි ගිහින් බබා ගන්නං කියනවා.."
චමින්දි කියලා කියන්නේ උපුල්ගේ අසම්මත පෙම්වතිය. උපුල්ට වැඩිය අවුරුදු අටක්ම වයසින් වැඩිමල්.ඒ මදිවට චමින්ද දරුවෝ තුන්දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. ජීවත් වෙන්නෙ ඉස්කෝලේ ගාව කරන පොඩි කඩේ ආදායමින්.මනුස්සයා චමින්දිව දාලා ගිහිල්ලා හුඟාක් කල්.
උපුල්ට රට යන්න වියදම් කළෙත් චමින්දි. හැබැයි කවදාකවත් උපුල් චමින්දිව බඳින්නෙ නැති බව චමින්දිත් දැනගෙන හිටියා.
"මම තනි මිනිහෙක් නෙමෙයි..මට පවුලක් තියෙනවා.නෑයෝ ගොඩාක් ඉන්නවා.ඒගොල්ලෝ මේක පිළිගන්නේ නෑ. හැබැයි මම මගේ ජීවිතේ කවදාකවත් ඔයාව අමතක කරන්නේ නෑ"
"මං ඒක දන්නවා. ඔයා කැමති උනත් මාව බඳින්න මං ඒකට කැමති වෙන්නෑ උපුල්..මං ඔයාව බැඳගන්න එක මං ඔයාට කරන අසාධාරණයක්. මගේ හිතේ ඔයාට තියෙන ආදරේ ඇත්තම එකක් නම් මං ඔයාව බැඳගන්නේ නැතුව ඉන්න ඕනේ..ඔයාට ලස්සන ජීවිතයක් හම්බවෙන්න ඕනේ..මම පොඩි කාලෙම මෝඩකමට කසාද බැඳගෙන ජීවිතේ විනාශ කරගත්තා..මං ආදරේ කියලා හිතාගෙන ඒ මනුස්සයත් එක්ක පැනලා ආපු හැඟීම තියෙන්නේ. ඒක ඇත්තටම ආදරේ කියන එකත් නෙවෙයි..ආදරේ කියන එක දැනෙන්නේ කොහොමද කියලා මං තේරුම් ගත්තේ ඊට හුඟාක් කාලෙකට පස්සේ"
චමින්දිගෙයි උපුල්ගෙයි සම්බන්ධෙ දන්නේ උපුල්ගේ හොඳම යාළුවා විතරයි. ඒ වෙනකොට උපුල්ට කසාද බඳින්න ගෑණු ළමයෙකුත් හිටියා..
" කසාදෙන් පස්සේ කවද හරි දවසක ඔයා මෙහෙ ආවොත් ..එදාට මං එළියට පැනලා කෑ ගහලා ඔයාව ලැජ්ජ කරනවා" චමින්දි එහෙම කියලයි තිබුණේ.
උපුල්ගේ යාළුවා කිව්වේ චමින්දි කියන්නේ පට්ටම වේ සා ගෑනියෙක් කියලා.
"බඳින්න ඕනෙත් නෑ. උඹ කරන්නේ ඒකිව පාවිච්චි කරන එක කියලත් දන්නවා. එහෙම දැන දැනත් ...ඕකට කියන්නේ වේ ස ක ම කියලා තමයි බං.."
අන්න ඒ චමින්දී තමයි පොඩි එකාව ගන්නවා කියලා කිව්වේ.
" ඒ ගෑනි මං වෙනුවෙන් ඕන දෙයක් කරනවා අයියේ..අනිත් එක පොඩි එවුන්ට මාර ආදරෙයි.දවස් දෙක තුනක් වුණත් පොඩි එකා තියාගනියි"
චමින්දි එයාගේ පොඩි එකාවත් ස්කූටරේ තියාගෙන චන්දික කියපු ගෙදරට යන්න පිටත් වුණා.
චමින්දි ඒ ගෙදරට යනකොට හවස දෙක හමාරයි. ඒ වෙනකල්ම චන්දික ගත්ත එක කෝල් එකක් වත් අනෝමා ආන්සර් කළේ නෑ..
චමින්දි ගෙදරට යනකොට ගෙදර මිදුලේ වටේට එහෙ මෙහේ මිනිස්සු ඇවිද ඇවිද ඉන්නවා. පොඩි එකාගේ ඇතුලේ හයියෙන් අඬනවා. ඇරලා තිබුණු ජනේලෙන් බිස්කට් පැකට් එහෙමත් දීලා. ඒවා පුටු උඩ තියෙනවා.. ඒත් පොඩි එකා " අම්මා අම්මා" කියලා අඬනවා මිසක් ඒවා කාල නෑ.
මිනිස්සු ලෑස්ති පොලිසියට කෝල් කරන්න. දොරවල් කඩලා පොඩි එකාවෙ එළියට ගන්නත් කවුරුත් ඉදිරිපත් වෙලා නෑ..තිළිණිව මේ ගෙදරට ගෙනත් දාපු අනෝමම ඉදිරිපත් වෙන්නේ නැති කොට මිනිස්සු ඉදිරිපත් වෙන්න බය ඇති..
දැන් මම කොහොමද ළමයව අරගෙන යන්නේ කියලා චමින්දි කල්පනා කළා.
" මම චන්දිකගේ අක්කා මේ බබාගේ නැන්දා" චමින්දි එහෙම කියලා බය නැතුව රෝස මල් තුනක් පිපිලා තියෙන රෝස පැලේ පෝච්චිය යටට අත දාලා යතුර ගත්තා. ඒකෙන් මෙයා පවුලෙ නෑයෙක් වෙන්න ඇති කියලා තහවුරු උනාට අභියෝගය තියෙන්නේ ඊට පස්සේ.පොඩි එකා කවදාවත් දැකලා නැති චමින්දි දැක්කම මොනවගේ ප්රතිචාරයක් දක්වයිද...
" මේ බබා ඉපදුනු දවස්වල ඉඳන් නෑන මාත් එක්ක හරි නෑ මං කවදාකවත් පොඩි එකා දැකලවත් නෑ..මල්ලි කෝල් කරලා කිව්වම ආවට මොකද ළමයා මට හුරුවෙයිද දන්නෑ..එයා එනකම් දැන් මම මේ ළමයා බලාගන්නත් එපැයි"
චන්දිකට කෝල් එකකුත් ගන්න ගමන් පෙර සූදානමක් විදියට එහෙමත් කියලා චමින්දි ගේ ඇතුළට ගියා. තමන්ගෙ ගමට ඇවිල්ලා ළමයව අරන් යන්න හදනකොට ගමේ මිනිස්සුන්ගේ විරෝධතාවයක් එයි කියලා චමින්දි හිතුවට එහෙම එකක් වුණේ නෑ..
පොඩි එකා සාලෙ පුටුවක් උඩ ඉඳගෙන කෝප්පයක් අතේ තියාගෙන ඉන්නවා. කෝප්පේ හාවෙකුගේ රූපයක් තියෙනවා. හොටුයි කඳුළුයි දෙකම බේරෙන මූන හෝදලා නෑ.
චමින්දි ඇඳගෙන හිටපු ජැකට් එක ගලවලා තව පුටුවක් උඩින් තිබ්බා. මගින් එනකොට ජැකට් එකේ සාක්කුවට දාගෙන ආපු කිරි පැකට් එක එළියට ගත්තා..
"මයෙ පුතාට බඩගිනිද..?" චමින්දි එහෙම ඇහුවම එච්චර වෙලා අඬ අඬ හිටපු පොඩි එකා චමින්දි දිහා බලා ...ගෙන හිටියා.ඊට පස්සේ ඔලුව වැනුවා..
චමින්ද කිරි පැකට් එක පෙන්නලා මේක කෝප්පෙට දාලා දෙන්නද කියලා ඇහුවාම පොඩි එකා එපා කියලා කිව්වා.
" මල්ලි බොන්න කැමති රස්නෙ කුක්කු විතරයි කියලා මාමා කිව්ව නේද පුතේ?" කියල එයාගෙම ළමයගෙන් ඇහුවේ අනිත් අයට ඇඟෙන්නත් එක්ක. අම්මා කියන ඕන කෙහෙල් මලකට ඔලුව වන ඒ පොඩි එකත් වෙලාවට ඔලුව වැනුවා.
" එන්නකො යන්න අපි ගිහින් කුක්කු හදමු" චමින්දි එහෙම කියලා පොඩි එකාව වඩාගත්තා. පොඩි එකා චමින්දිගේ මූණ දිහා බලාගෙනම හිටියා.පොඩි එකාව කුස්සියේ මේසේ උඩින් ඉන්දවලා චන්දිකත් එක්ක කතා කරන්න දුන්නා..
චන්දික මිසක් පොඩි එකා මොනවත්ම කතා කළේ නෑ.
චමින්දී පිටි සීනි හොයාගෙන වතුර උණුකරලා කිරි එකක්කක් හැදුවා.
" ඔය බබා දැන් පැයක් දෙකක් ඔය කෝප්පෙත් උස්සගෙන ගේ ඇතුලේ ඇවිදින්නෙ..බඩගිනි ඇති" කුස්සියේ ජනේලෙන් ඔලුව දාපු ගෑණු කෙනෙක් කිව්වා.
චමින්දිගේ ඇස් වල කඳුළු පිරුණා. චමින්දි කිරි එක නිවලා මේසෙ උඩ ඉඳගෙන හිටපු පොඩි එකාගේ කෝප්පෙට දාලා පොඩි එකාට පෙව්වා.
එක කිරි වගුරක් බීපු පොඩි එකා චමින්දි දිහා බලලා "අම්මා?" කියලා කිව්වා
එය අම්මා කියන වචනේ තිබුණේ අම්මා කොයි කියලා අහන ප්රශ්නේ..
" අම්මා එහේ ඉන්නවා.මේ පුතාව අරන් එන්න කියලා නැන්දට කිව්වා"
පොඩි එකා කිසිම කලබලයක් නැතුව චමින්දි එක්ක ස්කූටරේ ඉඳගෙන පිටත් වුණා.
එදායින් පස්සෙ චන්දිකට ආපහු එන්න මාස දෙක හමාරක්ම ගෙවුණා.ඒකට හේතු ගොඩාක් තිබ්බා.. ඒ මොනවා වුණත් පොඩි එකා ඇඬුවෙ සතියයි.
හැම දවසකම උදේ හවස වීඩියෝ කෝල් වලින් පොඩි එකා චන්දික එක්ක කතා කළා. එයා තාත්තව දැකල තියෙන්නෙම එහෙම වුණත් ඒ එයාගේ තාත්තා කියන අවබෝධය එයාට තිබුණා..
උපුල්ගෙන්ම චමින්දිගේ එකවුන්ට් නම්බර් එක ඉල්ලගෙන සල්ලි ටිකක් යවන්න චන්දික අමතක කළේ නෑ.
කතාව කනින් කොනින් දැනගත්ත සමහර මිනිස්සු චමින්දිට කිව්වේ මෝඩ ගෑනි කියලා.මොන තරම් වගකීමක්ද..මොනතරම් අනතුරක්ද...
සමහර විට ඒක ,එක්තරා ගැහැණියෙක් අසම්මත ප්රේමය වෙනුවෙන් කරපු මහා ගොන්කමක්..කාරණාව මොකක් උනත් චන්දිකට ඒක මහා උදව්වක්..
මාස දෙකහමාරකට පස්සේ චන්දික ආවම...පොඩි එකා චමින්දිව දාලා යන්න බෑ කියලා කෑ ගහලා ඇඬුවා. චමින්දියි ළමයි දෙන්නයි පොඩි එකාව බදාගෙන නොසෑහෙන්න ඇඬුවා. පොඩි උන් තුන්දෙනාගේ චමින්දිගෙයි ඇඬිල්ල සද්දෙට ඒ ගමේ මිනිස්සුත් එකතු වුණා..
දැන් පොඩි එකා චන්දිකට හුරුයි..එයාලා හොඳින්.. චමින්දි අක්කා පුරුදු විදියට කඩේ කරගෙන ජීවත් වෙනවා..
උපුලුත් ළඟදි බැන්ඳා..දෙන්නා එක්ක කඩේටත් යනවා එනවා..හැබැයි කවදාකවත් උපුල් තනියම චමින්දිලාගේ ගෙදර යන්නෙ නෑ.
ඔය දෙන්නා හැමදාම කඩේට එන වෙලාවට,මොකක් හරි ආශ්චර්යයකින් හැමදාම රුපියල් දහයක් ඉතුරු වෙනවා..දහයකාසි කොච්චර තිබ්බත් ඒ වෙලාවට චමින්දිට දහයෙ කාසි හිඟ වෙනවා. දහය වෙනුවට කිරි ටොපි කෑල්ලක් ගන්න මල්ලි කියල චමින්දි කියනවා.. ඒවා චමින්දි ගෙදර හැදුව කිරි ටොපි.. උපුල් බෝතලයට අත දාලා කිරි ටොපි කෑල්ලක් අරගෙන බක් ගාලා කටේ දාගන්නවා..
අනේ ඉතිං කසාද ගෑනු නොදන්නවට උන් බැඳලා ආපු හුඟක් කොල්ලන්ගේ ජීවිත වල චමින්දි අක්කා කෙනෙක් ඉන්නවා..වෙලාවට මේ චමින්දි අක්කා පොඩ්ඩක් වෙනස්..චමින්ද අක්කා කොච්චර හොඳ උනත් ඒ කිරි ටොපි කෑල්ලෙන් උනත් අර ගෑණු ළමයට සිද්ධ මොකක්දෝ අසාධාරණයක් තියෙනවා කියලා කෙනෙක්ට හිතෙනවා නම් එහෙම හිතෙන එකේ අසාධාරණයක් නෑ..
ඇත්ත ලෝකෙ ජීවත් වෙන මිනිස්සු සම්පූර්ණයෙන් පාරිශුද්ධ නෑ..එහෙම මිනිස්සු ඉන්නවට අපි කැමති උනාට ...කවුරුහරි ඇත්තටම එහෙම පාරිශුද්ධයි නම් එයා මනුස්ස ලෝකේ ඉන්නේ නෑ...
හැම කතාවක්ම අපේ ඉස්සරහට එන්නේ ඒ කතාවේ කවුද හරි වැරදි කියලා අපෙන් තීන්දු තීරණ ඉල්ලන්න නෙමෙයි.මෙහෙම දේවලුත් සිද්ධ වෙලා කියලා දැනගන්න.
ඒවායෙ තියෙන නරක දේවල් අපේ ජීවිතවල සිද්ධ නොවෙන්න වග බලාගන්න. ඒවායේ තියෙන හොඳ දේවල් අපේ ජීවිත වලත් උදා කරගන්න උත්සාහ කරන්න.
චන්දික මැරෙන තුරාවට උපුල්වත් ,චමින්දිවත් ඒ කරපු උදව් අමතක කරන්නේ නෑ..සදාකාලිකවම හැම උදේකම " උපුල් මල්ලිට එයාගේ ජීවිතෙත්...චමින්දිට එයාගේ ජීවිතෙත් හැම සතුටක් සැනසුමක්ම ලැබෙන්න ඕන" කියලා චන්දික හිතනවා..
තිළිනිලා,චන්දිකලා,අරුණලා,අනෝමලා,චමින්දිලා, උපුල් ලා අපිට කලින් හරි පස්සේ හරි ඉපදිලා,අපිට කලින් හරි පස්සේ හරි මැරෙනවා...
ඒ කොහොම වුනත් කාට නැතත් චමින්දිලාට නම් ,ඊළඟ ආත්මෙවත්
මඟදි අත ඇරලා යන්නේ නැති ආදරයක්, ස්වාමිපුරුෂයෙක් හම්බවෙන්න ඕන... නෑ කියන්න දෙයක් නැති වෙන්නම හරි යන්න ඕන...ඒ චන්දිකගේ හැඟීම..
===
සුජාතා මැණිකේ ඉහළගෙදර