24/12/2025
ජීවිතේ බොහෝම සුන්දර වගේම අභියෝගාත්මක කාල වකවානුවකට පස්සෙ, හරියටම මාසයකට පස්සෙ වගේ තමයි මගේ පිටුව පැත්තෙ ආවෙ..🦊🫎🌲⛄☕
මීට මාසයකට විතර කලින් සුළි කුණාටුවේ මුල් විහිදෙන්න පටන්ගත්තු දවසෙ පාන්දර දෙගොඩහරි ජාමෙ, හරියටම දවසක් වයසැති අපේ දූ සිඟිත්ත ගෙදර අරගෙන ආවට මොකෝ පොළවෙ පය ගහන්න බැරි සීතලයි, මොරගෙඩි වගේ දවසම කලුවර කරගෙන වහින වැස්සයි, සුව වෙන්න හිතලවත් නොතිබුනු අඟල් 6ක විතර සීසර් කැපුම් තුවාලෙකුයි වේලෙන්නෙ නැති නැපි ගොඩකුයි එක්ක අපි ඔට්ටු වෙද්දි දරාගන්න අමාරුම කාලගුණයක් එක්ක මේ අලුත් ලෝකෙට හුරු වෙන්න අපේ පැටියත් ලොකු සටනක් කරමින් හිටිය. ⛄🌲🫎🦊☕
යාන්තමින් අපි දෙගොල්ලොම අලුත් ජීවිතේට හුරු වෙද්දි නත්තල් හුළං අපිවත් සිපගෙන සාමයේ පණිවිඩය මේ ලෝකෙ පුරාම අරන් යන මේ හවස් යාමෙ මොකුත් නොලිය ඉන්න හිත දුන්නෙම නෑනෙ මට...⛄🌲🫎🦊☕
එක පාරම මං මගේ පුංචි කාලයට දුවල ගිහින් ආවෙ උණුවට හදාගත්තු චොක්ලට් පානයක් උඩ පාවුන මාෂ්මෙලෝස් දිහා බලන් හිටපු තත්පර කීපයෙදි..☕🦊🫎🌲⛄
ලෝරගෙ නත්තල් කාලෙ ගැන කියවපු පොඩි කෙල්ලෙක් කාලෙදි මටත් ක්‍රිස්තියානි භක්තිකයෙක් වෙන්න හිතිල තිබුන. ඒකට පලවෙනිම හේතුව තමයි නත්තල කියන්නෙ පුදුම තරම් වර්ණවත් කාලයක් වීම. රතු, කොල, රන්වන්, පාටින් හැඩවුනු නැත්තල් ගස්, සැරසිලි, පාට පාට තෑගි පෙට්ටි, සුදු පාට හිම, පිණි මුවෝ, නත්තල් සීයා, මාව වෙනම ලෝකෙකට අරන් ගිය එක.⛄🌲🫎🦊☕
ඒත් එක්කම පාසල් නිවාඩු කාලෙ හින්ද දවල් වෙනකන් නිදාගන්න ලැබුනු එකත්, රූපවාහියෙ යන ළමා චිත්‍රපටි බලන්න ලැබීමත්, හැමදාම නත්තල් දවසෙ දවල් කෑමට ක්‍රිස්තියානි භක්තික නෑදෑ ගෙදරකට රැස්වීමත්, තාත්තාට නත්තලට තෑගි ලැබුනු හැම්පර් එකේ තිබුන රසම නත්තල් කේක් එකත් තව තව හේතු මැව්ව. ⛄🌲🫎🦊☕
එක වෙලාවක මට ඕනි වුනා වුඩ්ලන්ඩ් ආර්ට් වල තියෙන හිමෙන් වැසුන කැලෑවක ගස් බෙනයක් ඇතුලෙ හීතලට ගුලි වෙලා නිදියන රතු ලේනෙක් වෙන්න, නැත්නම් පොලොව යට ගුලක් ඇතුලෙ ඉන්න පීටර් රැබිට් වගේ හාවෙක් වෙන්න, එක්කො උණු පෝරණුවක් ලඟ වාඩි වෙලා ජනේලෙන් එලියෙ හිම වැටෙන දිහා බලන් ඉන්න ගමන් රස සුප් එකක් බොන චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි එකේ දුප්පත් චාලිගෙ ගෙදර කෙනෙක් වගේ වෙන්න..⛄🌲🫎🦊☕
ඉතින් මං ආගම වෙනස් නොකලත් නත්තල් ගීතිකා අහන්න, 24 රෑ දේව මෙහෙය බලන්න, නත්තල් දවසෙ දවල් ජේසුතුමාගේ ජීවිත කතාව ඇතුලත් චිත්‍රපටය බලන්න,එදා රෑට පල්ලියෙ මල් වෙඩි බලන්න, කාලයක් යනකන් අමතක කලේ නෑ. ඒත් උසස් අධ්‍යාපන සහ රාජකාරි කාල සීමාවෙදි මේ පුරුදු මගෙන් ගිලිහිලා ගියා.⛄🌲🫎🦊☕
ඒත් මේ අද, මාතෘ නිවාඩුවෙ එක සීතල උදේ වරුවකදි මට ආයේම ඒ පුරුදු මතක් වෙලා.. කාලයත් එක්ක අපි වයසට ගියත් නත්තල හැමදාම එකම විදියට වර්ණවත්, වැඩි වැඩියෙන් වර්ණවත්.... පුංචි කාලෙ දැනුන හැඟීම් ආයෙම විඳගන්න මම තවම පරක්කු නෑ කියලයි මට හිතෙන්නෙ...⛄🫎🦊☕🌲
මේ එන නත්තල් දවසටනම් අනිවාර්‍යෙන්ම දේව මෙහෙය බලන්නත් ගීතිකා අහන්නත් මල් වෙඩි බලන්නත් ඇහැරගෙන ඉන්න මං මටම පොරොන්දු වුනා. කොහොමත් අපේ රෝස මල මාව රෑ පුරාම ඇහැරවන් තියන රාජකාරිය අකුරටම කරාවි🤭🤭⛄🌲🫎🦊☕
ඉතින් හැමෝටම සාමයේ අතු ඉති විහිදෙන සුබ නත්තලක්...❤